Friday, January 17, 2025
Follow Us
ජාතික කම්කරු උපදේශක සභාව රැස් වෙයි

අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා  මෙතෙක් ක්‍රියාත්මකව පැවති දින පහේ වැඩ සතිය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමන්ට සහ අනුමැතියට යටත්ව ජනවාරි මස පළමු වැනිදා  සිට ඉදිරි මාස හය සඳහා  දීර්ඝ කිරීමට  තීරණය කර ඇති බව කම්කරු අමාත්‍යංශය පවසයි.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ  සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා  රැස්වූ ජාතික කම්කරු උපදේශක සභාව මෙම තීරණය ගෙන තිබේ.කාන්තා  වෘත්තීය සමිති තුනක නියෝජිතයන් තිදෙනෙක් ද පළමු වරට මෙම සභාවට සහභාගී වී ඇත.

දින පහේ වැඩ සතිය ක්‍රියාත්මක වීමේදී මතුවන ගැටලු සමාලෝචනය කිරීම සඳහා  සේව්‍ය - සේවක සහ රජය යන පාර්ශව තුන නියෝජනය කරමින් එක් පාර්ශවයකින් නියෝජිතයන් දෙදෙනා බැගින් නියෝජිතයන් හය දෙනෙකුගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.

එසේම කම්කරු පනත් කෙටුම්පත අධ්‍යයනය කර අවශ්‍ය සං‌ශෝධන සහිතව සේව්‍ය සේවක දෙපාර්ශ්වයේ එකඟතාවය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන බවද කම්කරු අමාත්‍යවරයා  එහිදී අවධාරණය කර තිබේ.