Saturday, October 19, 2024
Follow Us
සත්‍ය-සමගිය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISRM) යටතේ පිහිටුවීමට නියමිත සත්‍ය  සමගිය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිළබදව විවිධ ක්ෂේත්‍ර නියෝජිතයින් දැනුවත් කිරීම සහ අදහස් ලබා ගැනීමේ දෙදින වැඩසටහනක් පසුගිය 12 සහ 13 දෙදින පුරා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

1983 සිට 2009 දක්වා කාලය තුළ පැවති සිංහල-දෙමළ කලකෝලාහලවල දී වින්දිතයන් සහ අසාධාරණයට ලක් වූ ලංකාව පුරා විසිරී සිටින පුද්ගලයින්ට සහන සැලසීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණයි.

යුද්ධය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ එක් හමාරක් පමණ මිය ගොස් ඇති බවත් ඔවුන්ගේ පවුල් වලට සහන සැලසීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ මූලික අරමුණ බවත් මෙම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ අසංග ගුණවංශ මහතා ප්‍රකාශ කළේය. 

1983-2009කාල සීමාව තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම අතරතුර දී හෝ එහි ප්‍රතිඵලයක් ලෙස හෝ එහි පසු විපාක වශයෙන් ශ්‍රී ලංකාවේ කවර හෝ ස්ථානයක දී තැනැත්තන්ට හෝ දේපලකට සිදු වූ අලාභයකට හෝ හානියකට, ජීවිත හානියකට හෝ සිදුව ඇතැයි කියනු ලබන මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීමකට අදාළ පැමිණිලි හෝ චෝදනා හෝ වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරිම, පරීක්ෂණ පැවැත්වීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 17 වැන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වූ අතර මෙම දෙදින පුරා පොලීසිය හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්,  ජනමාධ්‍යවේදීන්,  ආගමික නායකයින්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ ශිෂ්‍යයින්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් සහ ප්‍රජාව මේ පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් ලබා ගැනීම සිදු කෙරිණ.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගේ උපදේශකත්වයෙන්  දිස්ත්‍රික් රාජ්‍ය භාෂා අංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් අරුණ ප්‍රියංකර, නීතීඥ වස්නියා සුල්ෆිකාර් (නීති අංශය), නීතීඥ යස්මදා ලොකුනාරංගොඩ (නීති අංශය) යන නිලධාරී මහත්ම මහත්මීහු එක්වූහ.