Saturday, October 19, 2024
Follow Us
ඇසළ පෙරහැර සමයේ මහනුවර දන්සැල් ලියාපදිංචි කෙරේ

ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක සියලු දන්සැල් ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.

මහජනයා බහුලව ජීවත් වන අවස්ථාවක සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීම සඳහා මේ අයුරින් දන්සැල් ලියාපදිංචි කොට නිරන්තරයෙන් පරීක්ෂා කරන බව ඒ මහතා තවදුරටත් පැවසුවේය.

ඒ අනුව මේ වන විට සියයකට ආසන්න දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කොට ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් රන්දෝලි පෙරහැර සමයේ සිට පෙරහැර අවසන් වන තුරු ක්‍රියාත්මක වන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

පෙරහැර සමයේ පැවැත්විමට නියමිත එවැනි සියලු දන්සැල් පරීක්ෂා කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ දායකත්වයෙන් එම ආහාර සකස් කිරීම, ගබඩා කිරීම හා කල් ඉකුත්වීමට පෙර බෙදා හැරීම යන අවස්ථා අධීක්ෂණය කරන බව ද හෙතෙම පැවසුවේය.

පෙරහැර සමයේ මහනුවර නගරය හා නාගරික සීමාවේ ආහාර සැකසුම් හා අලෙවි කිරීමේ සියලු ආයතන පරීක්ෂා කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.