Saturday, October 19, 2024
Follow Us
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා ආදි වාසීන් මී පැණී පූජා කරයි

ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැරට සමගාමීව දාඹාන ආදිවාසීන් මී පැණි පූජා කිරිමේ චාරිත්‍රය අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි දිනයේ දී මී පැණි පූජා කිරීම පුරාතනයේ සිට සිදුවන අතර ඒ සඳහා ආදිවාසීන් වනයෙන් නළා ගත් මී පැණිවල අග්‍ර ඵලය යොදා ගනිති.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ආදිවාසී නායකයා ප්‍රමුඛ පනස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායම පිළීගන්නා ලදි.

දන්ත ධාතූන් වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම අනතුරුව සිදුවිය.

දන්ත ධාතූන් වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීමෙන් පසු ආදිවාසී කණ්ඩායම වෙත තිළිණ ප්‍රදානය කිරීම දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අනතුරුව එම කණ්ඩායම සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එම පිරිස අද පළමු රන්දෝලි පෙරහැර නැරඹීමට නියමිතය.