Saturday, October 19, 2024
Follow Us

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට ඉතා විනයගරුකව පැමිණෙන ලෙසද, පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට කටයුතු කරන ලෙසද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට මහනුවර ඇසළ පෙරහැරෙහි කුඹල් පෙරහැර 02ක් වීදි සංචාරය කර අවසන් බවද, තව දින 03ක් කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත බවද පැවසූ දියවඩන නිළමේවරයා අගෝස්තු 15 පළමු රන්දෝලි පෙරහැර ඇරඹෙන බවද පැවසුවේය.
ඉන් අනතුරුව පුරා දින 05ක් රන්දෝලි පෙරහැර පවත්වා අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා පැවැත්වෙන බවද පැවසුවේය. දියකැපීමේ මංගල්‍යයන් සිවුමහා දේවාල කේන්ද්‍ර කරගනිමින් දියකපන තොටේදී පවත්වා ඉන් අනතුරුව දිවා පෙරහැර පවත්වා ගෙවැදීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යය නිමාව දකින බවද සඳහන් කළේය.
මෙවර පෙරහැරේ අලි ඇතුන් 80කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර පෙරහැරේ අලංකාරය සඳහා විචිත්‍ර නර්තන කණ්ඩායම් යොදාගෙන ඇතැයිද පැවසුවේය.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා ජනතා සහභාගීත්වය වැඩි බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා අවධාරණය කළේය.