Saturday, October 19, 2024
Follow Us
ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ඉන්දියාව සමඟ පැවති තෙවන එක්දින තරඟය ලකුණු 110කින් ජයගනිමින් තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් විය.

 ඒ අනුව වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකියාව ලැබිණි.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 248 ක් ලබා ගැනීමට සමත් විය. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් හා පැතුම් නිස්සංක ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් වූහ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Riyan Parag කඩුලු 3 ක් හා Mohammed Siraj, Axar Patel, Washington Sundar එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 138 ක් පමණි. ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැඟින් බිඳ හෙළීය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 96ක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දු අවසන් තරඟයේ වීරයා ලෙස නම් කෙරුණු අතර තරඟාවලිය පුරාවට පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.