Saturday, October 19, 2024
Follow Us
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 32ක අගනා ජයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.

ඒ අනුව දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

ඉන්දීය ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ශර්මා ප්‍රහාරාත්මක ලකුණු 64ක් රැස්කිරීමට සමත් වු අතර පන්දු 44කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් ඇතුළත් විය.

ඊට අමතරව අක්ෂාර් පටෙල් ලකුණු 44ක්ද, ශුබ්මන් ගිල් ලකුණු 35ක්ද රැස්කරන ලදි.

ඉන්දීය ඉනිම මෙල්ල කිරීමේ සම්පූර්ණ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩර්සේ ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 06ම දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ආවේය.

වැන්ඩර්සේගේ මෙම පන්දු යැවීම (6/33) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දුව යැවීම ලෙසින් වාර්තා අතරටද එක්විය.

කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේද ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් (7/30) වීමත් විශේෂත්වයකි.