Saturday, October 19, 2024
Follow Us
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ආලෝකවත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කොප්පරා

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම්වලින් ආලෝකවත් කිරීම සඳහා අවශ්‍ය කිලෝ දහසය දහසකට වැඩි කොප්පරා ප්‍රමාණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පූජා කර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ශ්‍රී දළදා මාලිගාවේ දී පසුගියදා එය සංකේතාත්මකව පිළිගන්වනු ලැබීය.

2014 වසරේ සිට පෙරහර මංගල්ලයට අවශ්‍ය කොප්පරා ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව ප්‍රමුඛව සෙසු රෙජිමේන්තුවල බැතිසිත් දායකත්වයෙනි.

කොප්පරා තොගය ශ්‍රී දළදා මාලිගාවෙත භාර දීමෙන් අනතුරුව, දියවඩන නිලමේවරයාගේ සහ යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සව අවස්ථාවේ දී මෙවර ඇසළ පෙරහර පැවැත්වීමට අදාල ආරක්‍ෂක වැඩපිළිවෙල සහ අනෙකුත් වැදගත් කරුණු සම්බන්ධව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

එහි දී දියවඩන නිලමේ විසින් ඇසළ පෙරහර මංගල්‍ලය සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම අගය කළ අතර, කොප්පරා පරිත්‍යාගය සඳහා දායක වූ සියලුම වීරෝදාර රණවිරුවන් වෙත ද සිය කෘතඥතාව පළ කළේය.

අනතුරුව දියවඩන නිලමේතුමා විසින් යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් ශ්‍රී දළදා මාළිගාව වෙත නොකඩවා ඉටු කරනු ලබන සේවය අගයමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.