Saturday, October 19, 2024
Follow Us
2023 – 2027 පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ඇතුළත් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කර අවසන්

ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් මෙරට තුළ ඇති කිරීම වෙනුවෙන් 2023- 2027 කාලය දක්වා වන පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සහිත “ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය” සකස් කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.

එමඟින් 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය16% සිට 20% දක්වා ඉහළ නැංවීම, ශ්‍රම බලකායට වන ව්‍යවසායකත්ව දායකත්වය 2.8% සිට 7% දක්වා ඉහළ නැංවීම, මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය 14% සිට 20% දක්වා ඉහළ නැංවීමද ඉලක්ක කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

වර්තමානයට මෙන්ම අනාගතයටද ගැළපෙන පරිදි කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා අවසන් කොටුම්පතද නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මෙසේද පැවසීය.

පසුගිය කාලය තුළ මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය යළි නඟා සිටුවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව කිව යුතුයි. ඒ අනුව 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය16% සිට 20% දක්වා ඉහළ නැංවීමත් ශ්‍රම බලකායට ව්‍යවසායකත්ව දායකත්වය 2.8% සිට 7% දක්වා ඉහළ නැංවීමත් අපගේ ඉලක්කය වී තිබෙනවා. එසේම වසර 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙහි කාර්මික අපනයනයන්ගේ දායකත්වය 14% සිට 20% දක්වා ඉහළ නැංවීමටද අපේක්ෂා කරනවා.

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ‘‍ ගෝලීය තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් ශ්‍රී ලංකාවේ ඇති කිරීම අරමුණු කරමින් 2023- 2027 කාලය දක්වා වන පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ද සහිතව ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම වර්තමානයටත් අනාගතයටත් ගැළපෙන පරිදි කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා වන අවසන් කොටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

නිෂ්පාදන කර්මාන්ත සඳහා හිතකර පරිසරයක් සැකසීම යටතේ දේශීයව වාහන එකලස් කිරීම සඳහා වන සියලුම මාර්ගෝපදේශ, රෙගුලාසි ක්‍රියා පටිපාටි සහ ‘දේශීය අගය එකතු කිරීමේ න්‍යාය’ අන්තර්ගත වන සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වා දී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමෙන් පසු, රට තුළ නව වාහන මාදිලි හැත්තෑහයක් සහ මෝටර් වාහන එකලස් කිරීමේ ආයතන විසි නවයක් අනුමත කර තිබෙන බව කිව යුතුයි.

මේ අතර කර්මාන්ත අමාත්‍යාංශය යටතේ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම හඳුන්වා දී ඇති අතර 2024 වසරේ ජූනි මස දක්වා නිෂ්පාදන කර්මාන්ත 3,925 ක් ලියාපදිංචි කර තිබෙනවා. මේ වනවිට කර්මාන්ත ලියාපදිංචි කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමටද පහසුකම් සලසා තිබෙන අතර එමඟින් ලෝකයේ ඕනෑම රට සිට අදාළ කටයුතු සිදු කර ගැනීමට හැකියි.

තවද ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පහසුකම් සැපයීම ඉලක්ක කර කුඩා හා සුළු පරිමාණ කර්මාන්තයන්හි නායකත්ව සහ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය මඟින් 2022 වර්ෂය සඳහා ව්‍යාපෘතින් 33 ක් සඳහා රුපියල් මිලියන 293.4 ක්ද, 2023 වර්ෂය සඳහා සහභාගිත්ව ණය දෙන ආයතන (බැංකු) 10 ක් හරහා ව්‍යාපෘතින් 176ක් සඳහා රුපියල් මිලියන 1753 ක ණය මුදල් ලබා දී තිබෙනවා. 2024 වර්ෂයේ මේ දක්වා ව්‍යපෘති 179ක් සඳහා රුපියල් මිලියන 1647ක් ද ලබා දී තිබෙනවා.

එසේම පරිසර හිතකාමී ව්‍යාපෘතිය යටතේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය මඟින් 2022 වර්ෂය සඳහා ව්‍යාපෘතින් 33 ක් සඳහා රුපියල් මිලියන 293.4 ක් සහ 2023 වර්ෂය සඳහා සහභාගිත්ව ණය දෙන ආයතන (බැංකු) 11 ක් හරහා ව්‍යාපෘතින් 07 ක් සඳහා රුපියල් මිලියන 155 ක ණය මුදලක් ලබා දී තිබෙනවා. 2024 වසරේ මේ දක්වා ව්‍යපෘති 15ක් සඳහා ලබා දී ඇති ණය මුදල රුපියල් මිලියන 256ක් වනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ නැවත පණ ගැන්වුන වාලච්චේන කඩදාසි කම්හල විසින් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මස දක්වා කඩදාසි මෙට්‍රික් ටොන් 3899.37ක නිෂ්පාදනයක් සිදු කර තිබෙනවා.

එසේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ කේ. එස්. පී. ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් පුද්ගලික සමාගම (KSPA Embilipitiya Paper Mills (pvt) Ltd) සමඟ මෙම වසරේ අප්‍රේල් මාසයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

තවද ඛනිජ සම්පත් ප්‍රශස්ථ ලෙස භාවිතයට ගැනීමේ වැඩසටහන යටතේ ලංකා ඛණිජ වැලි සමාගම විසින් ඛණිජ වැලි විකිණීම සඳහා නව විකුණුම් ක්‍රමවේදය භාවිතා කර 2023 වසරේදී ප්‍රථම අලෙවිය සිදු කළා. එමඟින් ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 62,150 ක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20.33 ක ආදායමක් ලබා ගැනීමට හැකි වූ අතර සර්කෝන් කොන්සන්ට්‍රෙට් මෙට්‍රික් ටොන් 30,000 ක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 14.1ක ආදායමක් ලබා ගැනීමට හැකි වුණා.

ඒ වගේම ලංකා පොස්පේට් සමාගම 2023-2024 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 50,000 ක පමණ රොක් පොස්පේට් නිෂ්පාදනයක් සිදු කර ඇති අතර ඒවා අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 1080 ක ආදායමක් උපයා තිබෙනවා.

තවද මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිෂ්පාදන අපනයනය කිරීම තුලින් 2023 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 478 ක පමණ ආදායමක් ලබා ඇති අතර, 2024 ජුනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 194 ක අපනයන ආදායමක් ජාතික ආර්ථිකයට ලබා දීමට හැකි වී තිබෙනවා.මෙම ආදායම් තත්ත්වය තව දුරටත් වැඩි කිරීමේ අරමුණින් රුපියල් මිලියන 450ක පමණ වියදමකින් රත්නපුර දෙමුවාවත ඉදිකළ ජාත්‍යන්තර මැණික් කුළුණෙහි අපනයන මධ්‍යස්ථානයක්, අංග සම්පූර්ණ මැණික් රසායනාගාරයක් ඇතුළුව දේශීය විදේශීය ව්‍යාපාරිකයන් සඳහා මැණික් මිලදී ගැනීමේ සහ අලෙවි කිරීමේ අලෙවි කුටි 27 ක් ඉදිකර තිබෙනවා.

තවද කරන්දෙනියේ ආරම්භ කළ කුරුඳු ආශ්‍රිත කර්මාන්තපුරයේ කුරුඳු කේන්ද්‍රීය සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. එමඟින් කුරුඳු වගාකරුවන් හා සැපයුම්කරුවන් 100කට පහසුකම් සැපයීමටත්, අගය එකතු කිරීමේ අවස්ථාවන් සැලසීමටත් ජාත්‍යන්තයේ ඉහළ වෙළෙඳපොලට සිය නිෂ්පාදන හඳුන්වා දීමට අවස්ථා සළසා දීමටත් බලාපොරොත්තු වෙනවා. 2024 වර්ෂයේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස පවත්වන ලද අතර, දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි 83 ක් ඊට ඇතුළත් වුණා.

ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම යටතේ සෑම වසරකම ජූනි 22 ජාතික කර්මාන්ත දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එයට සමගාමීව ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2023 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබනවා. 2024 වසරේ ජූනි මාසයේ පැවති අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට කර්මාන්ත ක්ෂේත්‍ර 5ක් යටතේ ප්‍රදර්ශකයින් 1000කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.

තවද ආහාර නිෂ්පාදනයේ නියුතු සුඵ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හිමියන් සඳහා විශේෂ අවස්ථාවන් සපයමින් Profood Propack ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනය 2023 වසරේදී දේශීය හා විදේශීය කර්මාන්ත ප්‍රදර්ශකයින් 50 දෙනෙකු සහභාගීත්වයෙන් ප්‍රදර්ශන කුටි 300 කින් හා නරඹන්නන් 25000 කින් සමන්විතව සාර්ථකව පවත්වනු ලැබූ අතර 2024 වසරේ ප්‍රදර්ශනය අගෝස්තු මස පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

එසේම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන කර්මාන්තකරුවන් ඇගයීම හා දිරිගැන්වීම සඳහා පැවැත්වූ 2023 “ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය, ප්‍රදර්ශනය හා සම්මාන උළෙලේ දී ශිල්පීන් 508 දෙනෙකුට ජනාධිපති සම්මාන ලබා ලබා දුන්නා.

තවද ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයින් සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීම හෝ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා දේශීය හා විදේශීය වෙළඳපල අවස්ථා උදාකර දීම සඳහා “Made in Sri Lanka” වෙළද සල්පිල් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. මෙමගින් 2022 සහ 2023 වසරවලදී වෙළද සල්පිල් 125 ක් පැවැත්වීමෙන් ව්‍යවසායකයින් 3,439කට අලෙවි අවස්ථා උදා කරදී තිබෙනවා.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ගජේන්ද්‍ර ද සිල්වා, අතිරේක ලේකම් (කර්මාන්ත හා කර්මාන්තපුර සංවර්ධන) එස්.ඒ.එම්.එල්. ගුණතිලක , අතිරේක ලේකම් (ආංශික සංවර්ධන) අයි.සී.පතිරාජ , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සභාපති/ අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඒ.එල්.පී. කාරියප්පෙරුම , ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) සභාපති රුෂාන් මාරඹගේ, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර් එල්.කේ .එස්. ධර්මකීර්ති , ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, සී/ස ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.