Saturday, October 19, 2024
Follow Us
නාවික හමුදාවට ඇගයීමක්

තැලසීමියා රෝගී සත්කාර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන ලද සුවිශේෂි දායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඇගයීමට ලක් කිරීමේ විශේෂ උත්සවයක් අද (29) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාර‌යේ දී පැවැත්විනි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුලු තැලසීමියා රෝගී සත්කාර කටයුතු සඳහා දායකත්වය දක්වන ලද නාවික හමුදාවේ නිලධාරින් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ,
ශ්‍රී ලංකා නාවික හමුදාව 2011 වර්ෂයේ සිට මෙම සත් කාර්යය සිදු කරන අතර, මෙරට 2500 ක් පමණ වන තැලසීමියා රෝගීන් ප්‍රමාණයක් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ප්‍රතිකාර ලබාගන්නා බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පුරා වසර 13 ක් සිදු කරන මෙම සේවාව ඉදිරියටත් සිදු කරමින් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට සහාය දක්වනු ඇති බවද පැවැසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව 2011 වර්ෂයේ සිට වාර්ෂිකව Deferrioxamine ඉන්ෆියුෂන් පොම්ප 350 – 400ක් අතර ප්‍රමාණයක් තැලසීමියා රෝගීන්ට ලබාදෙන ලද අතර, එය ශ්‍රී ලංකාවේ වසරක මුළු අවශ්‍යතාවයයි. දැනටමත් සපයා ඇති Deferrioxamine ඉන්ෆියුෂන් පොම්ප අළුත්වැඩියා කිරීම ද සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පුරා වසර 13 ක් සිදු කරන ලද මෙම අමිල සේවාව අගය කිරීම අරමුණු කරගන මෙම උපහාර උළෙල පවත්වනු ලැබීය.

තැලසීමියාව යනු හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ නිසා ඇතිවන ජානමය රෝගී තත්ත්වයකි. මෙම රෝගයෙහි වඩාත් දරුණු ලක්ෂණ පෙන්නුම් කරන්නේ ළදරු අවධියේ දීය. මෙම රෝගය නිසා ඇති වන රක්තහීනතාවය හේතුවෙන් ජිවිත කාලය පුරා මෙම රෝගීන් හට රුධිර පාරවිලයනය කිරිමට සිදුවෙයි. මෙවැනි රුධිර පාරවිලයන විශාල සංඛ්‍යාවක් තැලසීමියා රෝගීන් හට සිදු කිරිමට සිදුවන අතර, එමගින් ශරීරයේ එකතුවන අතිරික්ත යකඩ ප්‍රමාණය ඉවත් කිරිමට Deferrioxamine ඉන්ෆියුෂන් නැමැති ඖෂධය භාවිතා වේ. මෙම ඖෂධය රෝගීන් හට දෙනු ලබන්නේ ඉන්ෆියුෂන් පොම්පයක් ආධාරයෙනි.

මෙහිදි තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන් පිරිසකට Medical Infusion System උපකරණ ප්‍රදානය කිරීම ද සිදු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ලංකා තැලසීමියා සංගමයේ නියෝජිතයින්, නාවික හමුදාවේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.