Saturday, October 19, 2024
Follow Us
2024 කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් සහ Jemimah Rodrigues ලකුණු 29 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 18 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 61 ක් හා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට ආසියානු කුසලානයක් ලක් මාතවට හිමිකර දීමට චමරි අතපත්තු ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබිණ.

පිත්තෙන් හා පන්දුවෙන් තරඟාවලිය පුරාවට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙවර 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්විණි.