Saturday, October 19, 2024
Follow Us
මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල විවෘත වෙයි

මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල ඊයේ  (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ නිර්මාණය කර ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නව පුහුණු පාසල ස්ථාපිත කෙරිණි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ප්‍රධාන පුහුණු පාසල ලෙස කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපිත පුහුණු පාසල ක්‍රියාත්මක වන අතර එයට අමතරව අනුරාධපුර, කඩුගන්නාව, කුරුණෑගල, මඩකලපුව, යන ප්‍රදේශවල පළාත් මට්ටමින් ද පුහුණු මධ්‍යස්ථාන 04 කද, කොළඹ ද සොයිසා කාන්තා රෝහල, හම්බන්තොට ශික්ෂණ රෝහල, දියතලාව මූළික රෝහල, කහවත්ත මූළික රෝහල, මහමොදර රෝහල යන රජයේ රෝහල්වලට අනුබද්ධව තවත් පුහුණු මධ්‍යසථාන 05 කද සහ කොළඔ නාරාහේන්පිට ET&R අංශයේ අධීක්ෂණය යටතේ කොළඹ කාසල් වීදියේ කාන්ත‍ා රෝහලේද සායනික පුහුණු කටයුතුද මෙයට සමගාමීව ඊයේ සිට ආරම්භ කෙරිණි.

මෙම විශේෂ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය, මගපෙන්වීම හා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය මගින් සිදු කර ඇත.

මෙම පුහුණු මධ්‍යස්ථාන 11 තුළින් වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් දහසක් පුහුණු කර මෙරට සෞඛ්‍ය පද්ධතියට එක්කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ වේ. මෙතෙක් එම පුහුණුව හෙද පුහුණු පාසල් තුළින් ලබා දීමට කටයුතු කර තිබිණි.


ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය කාර්යංශය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් මෙම ප්‍රධාන පුහුණු පාසල සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය සම්පත් දාකත්වය ලබා දී ඇති අතර, මෙම පුහුණු මධ්‍යස්ථාන 11 සහ අති නවීන සන්නිවේදන උපකරණ වලින් සමන්විත දුරස්ථ අධ්‍යාපන ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ආසියානු සංවර්ධන බැංකුව සහ ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මගින් ලබා දී ඇත.


මෙහිදී ප්‍රාදේශීය මධ්‍යස්ථාන 11 සදහා ආයතන භාර වෛද්‍ය නිලධාරී, පාඨමාළා සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී, ආයතනික පුහුණු සම්බන්ධීකරණ නිලධාරී යන තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමත්, පවුල් සෞඛ්‍ය සේවා සම්බන්ධීකාරිවරියන් ලෙස තෝරාගත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ පුහුණු වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට නිළ පලඳනා පැලඳවීමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සිදු කෙරිණි.