Saturday, October 19, 2024
Follow Us
පළමු විස්සයි-20 තරඟයේ ජය ඉන්දියාවට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(27) ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පලමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ අතර ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබා ලබා ගැනීමට සමත් විය.

පන්දුවට පහරදීමේදී ඉන්දීය පිළ වෙනුවෙන් නායක Suryakumar Yadav වේගවත් ලකුණු 58ක් සහ Rishabh Pant ලකුණු 49ක් රැස් කළහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ ලකුණු 40කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 19.2කදී ලබා ගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 170ක් පමණි. ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවමින් සාර්ථක ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවද ඉතිරිකඩුලු 9ම ලකුණු 170ක් වන විට දැවී යාම හේතුවෙන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා පිළට නොහැකි විය.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 79ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කර ගත්හ. පන්දු යැවීමේදී Riyan Parag කඩුලු 3ක් ද Axar Patel සහ Arshdeep Singh කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට සමත් විය.

තරඟයේ වීරයා ලෙස ඉන්දීය කණ්ඩායමේ නායක Suryakumar Yadav නම් කෙරිණි. ඒ අනුව තරඟ 3කින් යුත් විස්සයි-20 තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය.