Saturday, October 19, 2024
Follow Us
ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමේ දී මහා සංඝරත්නය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණු භික්ෂු සම්බන්ධීකරණ ඒකකය තෛන්‍රිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිනි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ඒකකය විවෘත කෙරිණි.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික අභියෝග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම හිමි වන බවයි. මහා සංඝරත්නය සහ පාලන තන්ත්‍රය අතර සබඳතා ශකිත්මත් කිරීමට මෙම නව භික්ෂු මධ්‍යස්ථානය ඉවහල් වනු ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ද මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් සඳහන් කර සිටියේ ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක ඒ වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම අත්‍යාවශ කරුණක් බවයි. ඒ අනුව මෙම නව භික්ෂු මධ්‍යස්ථානය විවෘත කිරීම ඉතා කාලෝචිත පියවරක් බව පෙන්වා දුන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනු ලබන කැපවීම ප්‍රශංසාවට ලක් කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි
අනුනායක හිමිපාණන් වහන්සේ,

ජනාධිපති කාර්යාලය තුළ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය පිහිටුවීම ඉතා වටිනා අරමුණු ඇතිව සිදුකළ කාර්යයක් බව කිවයුතුයි. අප රටේ සම්බුද්ධ ශාසනය සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමේ දී වඩාත් කාර්යක්ෂමව සහ අර්ථවත්ව එම කටයුතු සිදු කිරීමට මෙම ඒකකය තුළින් හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

විහාරස්ථාන පවත්වාගෙන යෑම, පාරම්පරික ධර්ම විග්‍රහයන් ආරක්ෂා කර ගැනීම, වර්තමානයේ ඇතිව තිබෙන විවිධ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ඇතුළු ගැටලු විසදා ගැනීමට මෙම ආයතනය ප්‍රයෝජනවත් වනවා ඇති. මෙමඟින් වටිනා ප්‍රතිඵල ලබා ගන්නවා මෙන්ම, ශාසනයේ උන්නතියට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා.

රටක් වශයෙන් අප අද මුහුණ දී තිබෙන ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික අභියෝගය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙන බව ද මා මෙම අවස්ථාවේ සඳහන් කිරීමට කැමතියි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ,

ජනාධිපති කාර්යාලය තුළ භික්ෂු සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කිරීමේ මංගල අවස්ථාවට සහ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව පෞද්ගලිකවම සතුටු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයටත්, අනාදිමත් කාලයක සිටත් ශාසනය වෙනුවෙන් ලැබී තිබෙන සුවිශේෂී අනුග්‍රහයන් පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ.

විශේෂයෙන්ම මෙම යුගය ශාසනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන යුගයක්. සාම්ප්‍රදායික භික්ෂු නායකත්වය නොසලකන, සාම්ප්‍රදායික ශාසනික හර පද්ධතිය නොසලකා කටයුතු කරන, විවිධ බලවේගයන් නිසා මේ වන විට සම්බුද්ධ ශාසනයට අදාළව ගැටලු රැසක් මතු වී තිබෙනවා.

ශාසනික වශයෙන් මතුවන ගැටලු නිරාකරණය කර ගැනීමේදී භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම ද අත්‍යවශ්‍ය කාරණයක් බව කිව යුතුයි. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට මතුවන ගැටලු සම්බන්ධ සාකච්ඡා කිරීමට රටේ බලඅධිකාරිය සමඟ සම්බන්ධ වීමට මෙම ඒකකය පිහිටුවීම ඉතා කාලෝචිත ක්‍රියාවක්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජනාධිපතිතුමාගේ සංකල්පය ඵලදායී ලෙස ඉටු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ,

බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම භික්ෂූන් වහන්සේලා මුල්කරගෙන විවිධ ප්‍රකාශයන් සිදු කරනවා. නමුත් බලාපොරොත්තු වූ කිසිවක් ඉටු වුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශාසනයේ ගැටලු සැලකිල්ලට ගෙන කටයුතු කරන නායකයෙක්. භික්ෂූ ස්වරූපයෙන් සිටින ඇතැම් පිරිස් ශාසනයට විශාල හානියක් සිදු කරනවා. අපට ද මේ ගැන කණගාටුවක් තිබෙනවා.

මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අප පසුගිය දිනවල එම කරුණු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කළා. සංඝ ශාසනය පිරිසිදු කර, මේ ඇතිවන විපත්වලින් රට ආරක්ෂා කරන ලෙසත් එතුමාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව අපගේ අනුශාසනා පිළිගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත මේ ආකාරයට භික්ෂු සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. භික්ෂු උපදේශන මණ්ඩලයක් පසුගිය රජය යටතේ ආරම්භ කළත් එය සාර්ථක වු‍ණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන මෙම වැඩපිළිවෙළට මහා සංඝරත්නයේ කෘතඥතාව හිමි වෙනවා.

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතිපූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ,

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද දින පිහිටවනු ලබන භික්ෂූ සම්බන්ධීකරණ කාර්යාලය පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රශංසාව හිමි විය යුතුයි. ඈත ගම් දනව්වල සිටින භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට මෙම සම්බන්ධීකරණ කාර්යාලය මඟින් හැකියාව තිබෙනවා. බෞද්ධයන් වෙනුවෙන් ලස්සන සංවිධානයක් දැනටමත් භික්ෂු සමාජය තුළ තිබෙනවා. ඒ සංවිධානයේ නම ශාසනාරක්ෂක බල මණ්ඩලයයි. වෙනත් කිසිදු සංවිධානයක් ඊට සම කරන්න බැහැ. ශාසනාරක්ෂක භික්ෂු බල මණ්ඩලය පිරමීඩාකාරයෙන් සකස් වී තිබෙනවා. එම නිසා සාසනයේ ඇති සියලුම ගැටලු එයට ආවරණය වෙනවා.

මේ සංවිධානයෙන් කවුරුත් ප්‍රයෝජනයක් අරගන්නේ නැහැ. මෙතෙක් මේ ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් ලබාගෙන තිබෙන්නේ දහම් දැනුම, කථික තරග, වැනි කටයුතු සඳහා අනුග්‍රහය ලබා දීම පමණයි. අපි බුද්ධිමත්ව කල්පනා කළහොත් ඈත ගමක වෙසෙන ස්වාමීන් වහන්සේගේ තොරතුරුත් එම සංවිධානය සතුව තිබෙනවා. අද විවිධ ධර්ම කරුණු විකෘති කිරීම් සමාජය තුළ වැඩි වී තිබෙනවා. ස්වාමීන් වහන්සේලාගේ විවිධ හැසිරීම් සම්බන්ධයෙන් සමාජය කතා කරනවා. ඒවා පිළිබඳ විවිධ විසඳුම් සෙවීමටද උත්සාහ කරනවා. නමුත් ඒ පිළිබඳව ක්ෂණිකව අපට තොරතුරු එකතු කර ගැනීමට හැකියාවක් නැහැ.ඒ පිළිබඳව ක්‍රියාත්මක වන්නට ශාසනාරක්ෂක බල මණ්ඩවලවලට මඟ පෙන්වීමක් සිදු කළහොත් ශාසනය හා ස්වාමීන් වහන්සේලා පිළිබඳව ඇතිවන ගැටලුවලට යම් ප්‍රමාණයකින් විසඳුම් ලබා දිය හැකි බව මා විශ්වාස කරනවා. ඒ නිසා රාජ්‍ය මැදිහත් වීම සිදුකර ශාසනය රැකීම සඳහා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ආයතනයක් බිහි කිරීම වෙනුවෙන් කෘතඥ වෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශාසනකීර්ති ශ්‍රී ධර්ම දර්ශන විශාරද අතිපූජ්‍ය කන්දේගොඩ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ,

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්න්ධීකරණ කාර්ය මණ්ඩලයක් සිටීම ගැන අප සතුටට පත් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සංකල්පය අප ඉතා අගය කරනවා. රටේ ප්‍රධානතම ආයතනය තුළින් ශාසනය ආරක්ෂා කර ගැනීමට සිදු කරනු ලබන මඟපෙන්වීම අනාගතයට ඉතා වැදගත් වෙනවා.

ගරුතර මහා සංඝරත්නය බොහෝ දුර කතර ගෙවාගෙන මේ මහා පිංකමට සම්බන්ධ වන්නේ හුදෙක්ම ආගමික සදාචාරය වඩාත් ඔප්නංවා ගැනීම වෙනුවෙන් තුරුණුවන්ගේ අශිර්වාදය ලබාදීමේ අරමුණ ඇතුවයි. අද දවසේදී මේ ආයතනය තුළ මෙබඳු අංශයක් ස්ථාපිත කර, රටට පමණක් නොව සමස්ත ලෝක ජනතාවටම ලබාදෙන පණිවුඩය තුළින් සිදුකරන සෑම ක්‍රියාවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

හිටපු පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ,

මේ රටේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම මත මෙවැනි අංශයක් ස්ථාපිත කිරීම පිළිබදව අප සතුටට වෙනවා. බොහෝ ප්‍රශ්නවලට මහා සංඝරත්නය මුහුණපා සිටිනවා. නමුත් උන්වහන්සේලාගේ ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා මහා සංඝරත්නයේ යම් ගැටලුවක් වෙතොත් ජනාධිපතිතුමා වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට අද හැකියාව ලැබී තිබෙනවා. ජනාධිපතිතුමා කිරිවත්තුඩුව භික්ෂු රෝහල විවෘත කිරීමේ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවට එදා පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු කරමින් මෙවැනි ආයතනයක් ස්ථාපිත කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව සඳහන් කළයුතුයි.

ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඉලංගංගොඩ පුරාණ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායකහිමිපාණන් වහන්සේ,

මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඉතා වැදගත් බව කවුරුත් දන්නවා. විශේෂයෙන්ම එදා සිටම ශාසනය තුළ මතු වී තිබෙන ගැටලු නිසා ශාසනයේ පැවැත්මට හානිදායක අවස්ථා තිබෙනවා. මේවාට විසඳුම් සෙවීමට විවිධ රජයන් යම් යම් පියවර ගත්තත්, ඒ තුළින් විසඳුම් ලැබුණාද කියන සැකය තිබෙනවා. එම නිසා සම්බුදු සසුන ආරක්ෂා කර පෝෂණය කර ගැනීමට සෑම දෙනාගේම අවධානය යොමු විය යතුයි. එහිදී මෙම නව භික්ෂු සම්බන්ධීකරණ ඒකකය ස්ථාපිත කිරීම අප ඉතා අගය කොට සලකනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලුනාව බෝධිරාජාරාමාධිපති දර්ශනපති අතිපූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් වහන්සේ

බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අප වෙනුවෙන් තිබුණත්, ඒ කාර්යභාරය වඩාත් පුළුල්ව සිදු කිරීමට ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කළ මේ ඒකකය භික්ෂු ශාසනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. භික්ෂූන් වහන්සේලාගේ ගැටලු සම්බන්ධව ලිපි හුවමාරු වුවත්, ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේ නැහැ. එබැවින් අද දවසේ ස්ථාපිත කළ මේ කාර්යලය තුළින් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න විසඳෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා,

ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයක් තුළ ගරුතර මහා සංඝරත්නය සම්බන්ධනේ කටයුතු කිරීමට ඒකකයක් බිහි වී තිබෙනවා. එය ජනාධිපතිතුමා විසින් තැබූ ඓතිහාසික පියවරක් බව කිවයුතුයි.

පසුගියදා කිරිවත්තුඩුවේ භික්ෂු ගිලන් රෝහල් විවෘත කරන අවස්ථාවේ රටේ ආගමික තත්ත්වය සහ රජයේ සම්බන්ධය පිළිබඳව ජනාධිපතිතුමා ඓතිහාසික ප්‍රකාශයක් කළා. ඇතැම් අය කියනවා රජයත්, ආගමත් වෙන්ව පැවතිය යුතුයි කියලා. ජනාධිපතිතුමා ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කළා. “රටේ ඕනැම කෙනෙකුට, ඕනැම ආගමක් ඇදහීමේ නිදහස ලබා දී තිබෙනවා. තවත් කෙනෙකුට ආගමක් අවශ්‍ය නැත්නම් අදහන්නේ නැතිව සිටීමටත් නිදහස තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් එම නිදහස තහවුරු කර තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා. එය වෙනස් කළ යුතුයි කියා කවුරු හෝ කියනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව එම අවස්ථාවේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. බුදු දහම පිළිබඳ ජනාධිපතිතුමාගේ මතය මෙයයි.

රජයෙන් යම් කාර්යයක් ඉටු කර ගැනීමේ දී කාලය නාස්තිවීම, දිගුකලක් ගතවීම සහ ප්‍රශ්නවලට පිළිතුරු නොලැබීම පිළිබඳ මහා සංඝරත්නය නිරතුරුව කරුණු පෙන්වා දී තිබෙනවා. ගෞරවණීය මහා සංඝරත්නය ඉදිරිපත් කරන කරුණුවලට ඇහුම්කන්දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් මෙම නව භික්ෂු සමබන්ධීකරණ ඒකකය පිහිටුවීමට පියවර ගනු ලැබුවේ ඒ වෙනුවෙන් බව කිවයුතුයි.

මෙම නව භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු ඒ සඳහා සහභාගී වූ මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී පැවැත්විණි.