Saturday, October 19, 2024
Follow Us
ගොවිජන සංවර්ධන නිලධාරින් 22ක් බඳවා ගැනේ

ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට සීමිත බඳවා ගැනීම් යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරින් 22ක් ගොවිජන සංවර්ධන නිලධාරින් ලෙස බඳවා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

අදාල නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (16) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු විය.

මෙම නිලධාරින් දැනට ගොවිජන සංවර්ධන නිලධාරින් සඳහා පුරප්පාඩු පවතින දිස්ත්‍රික්කවලට සේවය සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සේවාවන් ලබා ගැනීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙන ගොවි ජනතාවට එක් වතාවකින්ම ඔවුන්ගේ සේවාවන් ලබා දීම සඳහා කැප වී කටයුතු කරන ලෙස මෙම නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.

එසේම විවිධ ගැටලු හා රාජකාරි මැඳ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ගොවි ගොවි ජනතාව රස්තියාදු නොකරන ලෙසත් ගොවි ජනතාවගේ විසඳිය හැකි ප්‍රශ්න ඒ මොහොතේදීම විසඳා දෙන ලෙසද පැවසු අමාත්‍යවරයා , රාජ්‍ය අංශයේ බොහෝ ආයතනවල සේවකයන් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ඉතාමත් පහත් ආකාරයට සළකන බවත් අපේ රටේ ජනතාවට ආහාර සපයන ගොවි ජනතාව යම් කිසි සේවාවක් ලබා ගැනිමට පැමිණියහොත් ඔවුන්ට හොඳින් කතා කරන්න යැයිද කීය.

මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න යන මහත්වරු සහභාගි වී සිටියහ.