Sunday, October 20, 2024
Follow Us
අනුරාධපුර දිස්ත්‍රික්කයේ  සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචනය කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මට්ටමේ මහජන සෞඛ්‍ය කාර්ය සාධන ප්‍රගති සමාලෝචන රැස්වීම (Regional Level Public Health Performance Review of Anuradapura District) පසුගියදා (06) සෞඛ්‍ය ලේකම් විශේෂඥ ‌වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන්  උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදි උතුරු මැද පළාතේ සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදු කරමින් පළාත් පැතිකඩ, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, උපකාරක සේවා, අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ, විශේෂ මහජන සෞඛ්‍ය ගැටලු ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන් හි වැදගත්කම සහ  ඉදිරි දැක්ම පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‌වෛද්‍ය ඩබ්.එම් පාලිත බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළේය. 

එමෙන්ම 2023 සහ 2024 මේ දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාන්ට අදාළව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිලිප් එච් ලියනගේ මහතා කරුණු දැක්වීය. එහිදි මාතෘ සෞඛ්‍ය, දරුවන්ගේ  පෝෂණය, පාසල් සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ලිංගාශිත රෝග පාලන වැඩසටහන්, බෝනොවන රෝග පාලනය, මුඛ සෞඛ්‍ය, ආහාර සහ ඖෂධ, එන්නත්කරණ වැඩසටහන, පවුල් සැලසුම්, ජලභිතිකා, මැලේරියා සහ බරවා රෝග තත්ත්වයන් පිළිබදව සහ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හි ප්‍රගතිය පිළිබදව දැනුවත් කරන ලදි. 

මෙහිදී අදහස් දක්මින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙන ලද්දේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 30 ක සහ සෞඛ්‍ය ආයතන රැසක ජාලයක් තුළ පසුගිය වසර තුළ සාර්ථක අන්දමින් විශේෂිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව ඇති බවයි.

සෞඛ්‍ය ලේකම්වරයා එම වැඩසටහන්වල පවතින යම් යම් අඩුපාඩු ද පෙන්වා දෙමින් එම අඩුපාඩු නිවැරදි කිරීමටත් ඉදිරියටත් ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම් සිදු කළේය. එමෙන්ම  භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

උතුරු මැද පළාතේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (Provincial Health Training Center- PHTC) හි නිල ‌වෙබ්  අඩවිය විවෘත කිරීම ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතින් සිදුකෙරිණි , මෙම PHTC ආයතනය යනු සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ ධාරිතා වර්ධනය සඳහා අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ සේවා සැපයීමේ වගකීම දරනු ලබන උතුරු මැද පළාත් සභාවේ පිළිගත් පුහුණු මධ්‍යස්ථානයකි.