Wednesday, October 23, 2024
Follow Us
කටුනායක ගුවන් පාලන කටයුතු සම්පුර්ණයෙන් ඩිජිටල් තාක්ෂණයට

කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පාලන කටයුතු නවීකරණය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ රුපියල් බිලියන 1.2 ක් ආයෝජනය කර ප්‍රධාන ගුවන් පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ කර ඇත.

මෙම නව ඩිජිටල් ගුවන් ගමන් පාලන කළමණාකරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම පසුගියදා වරාය, නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණ.  

කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන සහ පිටව යන සෑම ගුවන්යානාවක්ම පාලනය, පාලන කුළුන සහ රාඩාර් මධ්‍යස්ථානය මඟින් සිදු වු අතර එම දත්ත මේ තාක් ලිවීම සිදු වුයේ පාලකවරුන්ගේ අතිනි.  

මෙම නව ගුවන් ගමන් පාලන කලමණාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දත්ත අතින් ලිවීම අවශ්‍ය නොවන අතර දත්ත එම මොහොතේම අවශ්‍ය ස්ථාන වෙත ලබා දීමේ හැකියාව ලැබෙනු ඇත. එමගින් ශ්‍රි ලංකාවේ ගුවන් ගමන් කලාපයේ ගුවන් සංතරණ සේවා සැපයීම ඉතා කාර්යක්ෂම වන අතර වැඩි ගුවන් යනා ප්‍රමාණයකට සේවා සැපයීමේ හැකියාව ලැබේ.

මෙම නව පද්ධතිය පෙර තිබු පාලන පද්ධතියට වඩා තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ බැවින් පෙර තිබු පද්ධතිය මගින් ගුවන්යානයක පියසර උස,  ස්ථානය සහ වේගය පමණක් ලබා ගත හැකි වු අතර මෙම නව පද්ධතිය මගින් ගුවන් යානයේ නියමු කුටියේ සියලුම දත්ත ගුවන් පාලන කුළුන වෙත ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එබැවින් ගුවන් ගමන්වල ආරක්ෂාව පිලිබඳ දත්ත සියයට සීයක් ලබා ගැනීමට හැකිවනු ඇත.  

මෙම නව ඩිජිටල් පද්ධතිය ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.