Wednesday, October 23, 2024
Follow Us
අලි මිනිස් ගැටුම විසඳීම කඩිනම් කිරීම ගැන ඇමැතිනී අවධාරණය කරයි

   


අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීනව වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළයුතු බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අලි උවදුර අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වන ජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන , පාරම්පරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතළ අභියෝගයක් බව තේරුම් අරගෙන කටයුතු කළ යුතු බව එහිදී අමාත්‍යවරිය අවධාරණය කළේය.