Wednesday, October 23, 2024
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාර ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කළ අතර නව ලේකම්වරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම්වරයෙකු වශයෙනුත් සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන් ද පත්කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කළ ඒ මහතා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

මෙම වැඩ භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න , වත්සලා ප්‍රියදර්ශනී , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මින් ද, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් හා රොහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගී වුහ.