Wednesday, October 23, 2024
Follow Us
තේ වගාවේ අස්වැන්න පස්ගුණයකින් ඉහළ නැංවීමට අධි ඝනත්ව වගා ක්‍රමයක්

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

පසුගිය 16වැනිදා අමාත්‍යවරයා වැලිපැන්න පේරගස්වත්ත අධි ඝනත්ව තේ වගාව නිරීක්ෂණය කළේය.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශකත්වය හා මුල්‍ය ප්‍රතිපාදන යටතේ අධිඝනත්ව වගා ක්‍රමය මෙන්ම විසිරි ජල බින්දු තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති අක්කර හතහමාරකින් සමන්විත මෙම වගාව අතිසාර්ථක අස්වැන්නක් ලබා දී තිබේ.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකිය. එමෙන්ම සාම්ප්‍රධායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දළු කිලෝ ග්‍රෑම් 300ක් වුවද, මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ.

එමෙන්ම තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි වන නිසා මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වන්නේ ද නැත.

එමනිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට වගා කරුවන්ට හැකි වේ. අවම ජල ප්‍රමාණයක් හා අවම පොහොර ප්‍රමාණයක් මගින් මෙම අධිඝනත්ව තේ වගාව සිදු කළ හැකි වීම ද විශේෂත්වයකි.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම එම වගා කරුවන්ට අක්කරයක‌ට රුපියල් ලක්ෂ 10ක් බැගින් මුල්‍යාධාර ලබා දී ඇති අතර එම මුදල් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දී ඇත.

අවම ඉඩම් ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ලබා ගත හැකි අතර ගුණාත්මක භාවයෙන් ඉහළ තේ අස්වැන්නක් ද මෙමගින් ලබා ගැනීමට හැකිවේ. එමනිසා මෙම අධිඝනත්ව තේ වගා ක්‍රමය අනෙකුත් වගා කරුවන්ටත් හඳුන්වා දීම සඳහා ඔවුන් දිරි ගන්වන ලෙසත්, 2024 දී මෙම කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා සභාපතිවරුන්ට උපදෙස් දුන්නේය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි 2024 වර්ෂය තුළ නව තාක්ෂණය කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයට එක් කිරීම තම අරමුණ බව කී අමාත්‍යවරයා වගාබිම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කිරීමට සියලු නිලධාරින් කැප වී කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.