Wednesday, October 23, 2024
Follow Us
තෝරාගත් පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මගින් සංවිධානය කරන ලද ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 පසුගිය දෙදින (13-14)  බත්තරමුල්ලේදී සාර්ථකව පැවැත්විණි.

මෙහි සමාප්ත අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  සහභාගී වූ අතර  මෙම ජාතික සම්මන්ත්‍රණය මෙවර පැවැත්වූයේ  තෙවැනි වරටය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු පර්යේෂකයින්ගේ, පර්යේෂණ ඉදිරිපත් කිරීම හා ඒ පිළිබදව සාකච්ජා කිරීමට අවශ්‍ය වේදිකාව සලසා දීම මෙන්ම පර්යේෂණ සදහා සෞඛ්‍ය වෘත්තිකයින් නැඹුරු කිරීම හා දිරිමත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණයි.

දෙදින සම්මන්ත්‍රණයේ දී වාචිකව හා පෝස්ටර් පර්යේෂණ 245 ක්  සාකච්ජාවට භාජනය කළ අතර පර්යේෂණ 10 ක් හොඳම පර්යේෂණ ලෙස නිර්දේශ විය. ඒ් අතුරින් පර්යේෂණ තුනක් හොදම පර්යේෂණ ලෙස තෝරාගනු ලැබීය.

එම සෞඛ්‍ය වෘත්තිකයින්හට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් මෙහිදී  සහතිකපත් ප්‍රදානය කරන ලද අතර තෝරාගනු ලැබූ හොදම පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය සඳහා යොදා ගැනීමට නියමිතය. 

මාතෘ හා ළමා සෞඛ්‍ය, බෝ නොවන රෝග, සෞඛ්‍ය පද්ධතිය, සෞඛ්‍ය හා මානව සම්පත්, ආහාර හා පෝෂණය, බෝ වන රෝග, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ශල්‍ය සත්කාර, ඩිජිටල් සෞඛ්‍ය, විකිරණවේදය, දන්ත සත්කාර යන මාතෘකාවන් යටතේ සහ තවත් විවිධ මාතෘකාවන් යටතේ මෙහිදී සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පර්යේෂණ ඉදිරිපත් කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  කියා සිටියේ, මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ගමනේ මෙම සම්මන්ත්‍රණය විශාල ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දිය හැකි බවත් මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් සංවර්ධිත රටක පවතින සෞඛ්‍ය සේවාව හා සමාන සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව බවය. 

1948 නිදහසින් පසු නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය මෙරට තුළ ක්‍රියාත්මක වන බවත් එදා එකක්ව පැවති  වෛද්‍ය විද්‍යාල ප්‍රමාණය අද වන විට 11 ක් දක්වා වර්ධනය වී තිබෙන බවද, 3000 ක් ව තිබුණු පාසල් සංඛ්‍යාව පාසල් 7000 දක්වා වර්ධනය වී තිබෙන බව ද පෙන්වා දුන්නේය. 

පෙර දවස මෙරට ලියාපදිංචි වෛද්‍යවරුන් 701 ක් සහ හෙදියන් සුළු ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය  සේවාවේ නියැළුණු බවත් රෝහල් ඇදන් ධාරිතාවය 15,000 ක්ව පැවතිය බවද, වර්තමානය වන විට එම රෝහල් ඇදන් ධාරිතාවය 90,000 ඉක්මවන බව ද වෛද්‍යවරුන්  22,000 කට අධික පිරිසක් හා 40,000 කට අධික හෙදියන් ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාවේ සේවය කර අතර සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන් වල 10000 කට අධික පිරිසක් ද සේවය කරන බව අවධාරණය කළේය. 

එමෙන්ම පසුගිය දෙවසර තුළ මෙරට සෞඛ්‍ය සේවාවේ යම් පසුබෑමකට ලක් වුවත් වර්මානය වන විට එය නැවතත් ශක්තිමත් සේවාවක් ලෙස පවත්නවා ගෙන යාමට කටයුතු කරන බවත් මෙහි දී තෝරා ගනු ලැබු හොදම පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි උන්නතිය සදහා යොදා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.  

ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, JICA, ඉන්දීය රජය, චීන රජය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර නියෝජිත ආයතන, මෙරට සෞඛ්‍ය සේවාව ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සදහා සහය ලබාදෙන බවත් එහි අවසන් ප්‍රතිලාභය මෙරට ජනතාවට ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.