Wednesday, October 23, 2024
Follow Us
විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් තුළ දරුවන්ට ඇති අවස්ථා

වර්තමානයේ බොහෝ පාසල් දරුවන් සහ දෙමව්පියන් නොනවතින තරගයක කොටස්කරුවන් වී සිටින බවත්, තරගයක වින්දිතයන් බවට දරුවන් පත්කිරීම වෙනුවට විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සමග පුළුල් අත්දැකීම් පරාසයක් සහ කුසලතා අත්පත්කරගත හැකි මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහි කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 

කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ පළමු සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය. 

මේ වනවිට දිවයිනේ ප්‍රධාන පාසල් රැසක ඉතා සක්‍රීය ව ක්‍රියාවට නැංවෙන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන හරහා සිසුදරුවන් තුළ නායකත්ව කුසලතා, කණ්ඩායම් හැඟීම, අදහස්වලට ගරුකිරීම, සවන්දීම, ඉවසීම, වැනි පෞරුෂ සංවර්ධන ගුණාංග වැඩිදියුණු කිරීමටත්, සර්ව ජන ඡන්ද බලය, ප්‍රජාතන්ත්‍රවාදී රජයක පාර්ලිමේන්තු කාර්යභාරය, මූල්‍ය වගකීම් දැරීම, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය සතු බලතල හා වගකීම් පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමටත්, දේශීය මෙන් ම විදේශීය රාජ්‍ය පාලන ක්‍රමවේද, පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය, මැතිවරණ පැවැත්වීම, ජනතා නියෝජිතයන්ගේ කාර්යභාරය ආදිය පිළිබඳ වඩාත් පුළුල්  දැක්මක් සහ අවබෝධයක් ඇතිකරගැනීමටත් ඉමහත් පිටුබලයක් සැලසේ.

මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන මැතිවරණ කොමිසන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන අතර, ප්‍රාදේශීය හා ජාතික සංවර්ධනය අරමුණු කරගනිමින් ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා පාසල් දරුවන් සෘජුව මැදිහත් කරගැනීම, ජාතික අධ්‍යාපන පොදු අරමුණු හා නිපුනතා සමූහ ලබාගැනීම සඳහා ක්‍රියාකාරී අවස්ථා සම්පාදනය කිරීම, පුරවැසි අධ්‍යාපන විෂය මගින් න්‍යායාත්මකව හා ප්‍රායෝගික ව පාසල් ප්‍රජාව තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුනතා වඩාත් ඵලදායීව ස්ථාපිත කිරීම ඇතුළු ප්‍රමුඛ අරමුණු රැසක් එහි දී මූලිකව සැලකිල්ලට ගෙන ඇත. 

මෙම අවස්ථාවට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය ජේ සුමේධා ජයවීර, මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.