Wednesday, October 23, 2024
Follow Us
ව්‍යවසායකයන් දිරිගැන්වීමට පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලක්

මෙරට ව්‍යවසායකයන් නඟා සිටුවීම හා ඔවුන්ට ඉහළ මට්ටමේ ව්‍යවසායකත්වයක් ළඟාකර ගැනීමට දිරිගැන්වීමේ අරමුණින්  සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) , ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කෙරිණ.

මෙම සම්මාන උළලේදී ක්ෂුද්‍ර පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන කර්මාන්ත අංශ සියල්ල නියෝජනය වන පරිදි කර්මාන්ත හා නිෂ්පාදන , කෘෂි කර්මය - පශු සම්පත් හා ධීවර  හා සේවා  යන අංශ පදනම් කරගනිමින් සම්මාන පිරිනැමුණු අතර විශේෂ නිර්ණායක 8 ක් යටතේ හොඳම කාර්ය සාධනය සඳහා වූ සම්මාන 11 ක්ද පිරිනැමුණි. 

බස්නාහිර පළාතේ ව්‍යවසායකයින් හදුනාගෙන ඔවුන් ඇඟයීමට ලක් කිරීම, රටේ ආර්ථික සංවර්ධනය සඳහා තම දායකත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් දිරිගැන්වීම හා උනන්දු කරවීම, හා සිය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය ලබා ගැනීමට ව්‍යවසායකයින් දිරිමත් කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වෙයි.

2014 වසරේ ආරම්භ කළ මෙම ප්‍රාදේශීය සම්මාන උළෙල මෙම වසරේදී ප්‍රාදේශීය සම්මාන උළෙල 5 ක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සමස්ත සම්මාන උළෙල මඟින් 100 කට අධික ව්‍යවසායකයින් පිරිසක් ඇඟයීමට ලක් කිරීමට නියමිත වෙයි.

මෙම අවස්ථාව සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එක්වූ අතර එයට අමතරව කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්,ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ,ජපන් තානාපති කාර්යාලයේ දුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, අතුළු විශාල පිරිසක් එක්වූහ.