Wednesday, October 23, 2024
Follow Us
දුෂ්කරතා අතර වුවත් කැපවීමෙන්, මනා කළමනාකාරීත්වයකින් ආයතනවලට ලාභ ලැබිය හැකියි

2023 ලෝක පොදු ප්‍රවාහන දින සමරුව වෙනුවෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවැත්වූ කාර්ය සාධක ඇගයීම් සම්මාන ප්‍රදානොත්සවයේදී ශ්‍රී ලංකාවේ වැඩිම අදායමක්‌ ලබන ඩිපෝව බවට සම්මානය දිනාගත් පොළොන්නරුව ඩිපෝවේ සහ ශ්‍රී ලංකාවේ වැඩිම ලාභයක් ලැබූ ප්‍රාදේශීකය බවට සම්මානය දිනාගත් රජරට ප්‍රාදේශීකයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇගයීම උදෙසා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම කාර්යාලවල විශේෂ නිරීක්ෂණයකට‍ එක් විය.

එහිදී කාර්ය මණ්ඩලය අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පසුගිය වසර පුරාවට මුහුණ දුන් අභියෝග රාශියක් ජය ගනිමින් රුපියල් මිලියන 100 කට වැඩි ලාභයක් ඉපයීමට පොලොන්නරුව ඩිපෝවත්, රුපියල් මිලියන 300ක ලාබයක් ඉපැයීමට රජරට ප්‍රාදේශිකයත් සමත් වූ බව ඊට දායක වූ සියලු දෙනාට ගෞරවයක් වශයෙන් ප්‍රකාශ කිරීමට මා කැමතියි. එය ලංකාවේ අනෙකුත් ඩිපෝ වලට ද ආදර්ශයක්. තම අධිෂ්ඨානය, කැප කිරීම සහ වැඩ කිරීම තුළින් සිදු කළ නොහැක්කක් නොමැති බව මේ සියළු දෙනා එක්ව ඔප්පු කර තිබෙනවා.මේ ආකාරයෙන් කැපවීමක් තුලින් ඕනෑම වැටුණු ආයතනයක් ගොඩ නැගීමේ හැකියාවක් පවතිනවා.
තමන්ට ලැබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින්, කාර්යක්ෂම කළමනාකාරිත්වයක් තුළින් මෙම ඩිපෝව සාර්ථකත්වයට පත්ව තිබෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් මතයි. පිරිවැය හැකිතාක් අවම කර ගැනීම සහ ඉපයුම් හැකිතාක් වැඩි කරගැනීම තුළින් මෙවැනි ඵලදායීතාවක් ලබා ගත හැකි වනවා. එය තනි පුද්ගලයකුට පමණක් කිරීමට හැකියාවක් නැහැ.නිසි මගපෙන්වීමක් සමග කළමනාකාරීත්වය සහ තාක්ෂණය ඒ සඳහා අවශ්‍යයි.තවදුරටත් ආයතනයේ ප්‍රගතිය වර්ධනය කිරීම උදෙසා අලුත් තාක්ෂණය භාවිතා කළ යුතුයි.ඒ තුළින් මේ ලැබූ ලාභය ලබන වසර වන විට දෙගුණ කිරිමේ හැකියාව පවතිනවා.ඒ වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම QR ක්‍රමයට හෝ කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකල හැකි ආකාරයට ඩිජිටල්කරණය කළ යුතුයි. බස් රථ ධාවනය නිරීක්ෂණය කිරීම සඳහා ජී.පී.එස්.තාක්ෂණය යොදා ගත යුතුයි. අද ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවල් රියදුරන් රහිත ව බස් රථ ධාවනය සඳහා කෘතිම බුද්ධිය භාවිතා කරන තත්ත්වයට පත්ව තිබෙනවා. වත්මන් ලෝකය අප සිතනවාට වඩා බොහෝ වෙනස් වී තිබෙනවා.
තිරසර ප්‍රවාහන ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර සමුළු කිහිපයකටම සහභාගිවීමට පසුගිය කාලය තුල මට අවස්ථාව ලැබුණා. ඒ සියල්ල තුළ සාකච්ඡා වන්නේ 2030 වසර වන විට ලෝකය පුරා පොදු ප්‍රවාහනය විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීම පිළිබඳවයි. ඉන්දියාව, චීනය, කොරියාව ඇතුළු බොහෝ රටවල් මේ වන විට දුම්රිය විද්‍යුත්කරණය වෙත පරිවර්තනය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා.
දේශපාලන පක්ෂ සංවිධාන වලට කටපාඩම් කරගත් න්‍යායන් ප්‍රකාශ කිරීමට හැකිය.නමුත් ප්‍රායෝගිකව එවැනි දේ නොකිරීම හේතුවෙන් අප ලෝකයට වඩා බොහෝ පසුපසට ගොස් තිබෙනවා. විදුලි ත්‍රි රෝද රථයක් කිලෝමීටරයට රුපියලකට වඩා අඩු මුදලකින් ධාවනය කළ හැකියි.මේ කරුණු සියල්ල හේතුවෙන් 2024 වසර e motaring වසර ලෙස කටයුතු කරන්නට අප බලාපොරොත්තු වනවා.විදුලි පාපැදි, යතුරු පැදි, ත්‍රිරෝද රථ නිපදවීම සහ අපනයනය කරන රටක් බවට පත්වීම ප්‍රවාහන අමාත්‍යාංශය ලෙස අපේ බලාපොරොත්තුවයි.ඒ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස්නාහිර පළාතේ විදුලි බස්රථ 200ක් ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ අතිරික්ත වන ඩීසල් මඟින් ධාවනය වන බස් රථ රජරට ඇතුළු දිවයිනේ අනෙකුත් පළාත් වලට ලබා දීමට හැකියාව ලැබෙනවා.
මෙවැනි ලාභ ලබන කාර්යක්ෂම ඩිපෝ ඉතිරි කරගත් මුදල් නැවතත් ආයෝජනය කිරීමට අවස්ථාවක් ලබා දෙමින් ගෙවීමේ ක්‍රමයට නව බස්රථ දහසක් ලබා ගැනීමට මේ වනවිට කටයුතු සැලසුම් කර තිබෙනවා.මේ ලබාගත් ජයග්‍රහණය ට ගෞරවයක් ලෙස පොළොන්නරුව ඩිපෝවට ඉදිරි වසරේ දී එවැනි අධි සුඛෝපභෝගී බස් රථ විස්සක් ලබා දීමට අප කටයුතු කරනවා.
එමෙන්ම වෘත්තීය ගැටලු කොපමණ පැවතුනත් පොදු ජනතාව පීඩාවට පත් කරන වර්ජන ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග වලට සම්බන්ධ නොවූ සමස්ත ලංකාවේම ලංගම කාර්ය මණ්ඩලයට මාගේ ගෞරවය පිරිනැමීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
පටු මත වාද අනුව නොබෙදෙමින් එක්ව කටයුතු කරමින් රට ගොඩනැගීමට සියලු දෙනා අත්වැල් බැඳ ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා."

මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා, උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති රංජිත් සමරකෝන් මහතා,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, දුම්රිය දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතනවල නිලධාරීන් සහ ලංගම කාර්ය මණ්ඩල මෙම අවස්ථාවට එක්ව සිටියහ.