Wednesday, October 23, 2024
Follow Us
එළඹෙන වසර තුළ  තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තුනක්  

දැනට ලංකාව තුළ පවතින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව ජපන් ජාත්‍යන්තර සහයෝගිතාවය යටතේ එළඹෙන වසර තුළ අවම වශයෙන් තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තුනක් හෝ ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට  බලාපොරොත්තු වන බව  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක පොදු ප්‍රවාහන දිනයට සමගාමීව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන් මාලාවේදීය.

ඒ අනුව කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වලින් විශාල ප්‍රමාණයක් මේ වනවිට අවසන්ව පවතින බවත්  එය නිම කිරීමේ වගකීම ලබන වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.  ලෝක බැංකු ආධාර යටතේ මහනුවර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වූ බවත් දීර්ඝ කාලයක් ප්‍රමාදව පැවති  මෙම ව්‍යාපෘතිය ලබන වසර තුළ ආරම්භ කිරීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය. 

 එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය, මධ්‍යම බස් නැවතුම් පොළ, බැස්ටියන් මාවත බස් නැවතුම්පළ යන මේ ස්ථාන සියල්ල ඒකාබද්ධ කරමින් මහ කොළඹ මහ නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.