Wednesday, October 23, 2024
Follow Us
සේවය අත හැර ගිය වෛද්‍යවරුන් පිළිබඳ වාර්තාවක් ඉල්ලයි 

සේවය අත හැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව  හා  ඔවුන්ගෙන්  රජයට අය වියයුතු මුදල් පිළිබඳ සම්පුර්ණ  වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමට කටයුතු කරන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභව මගින් පත්කළ අනු කාරක සභාව  සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම සේවය හැර ගොස් සිටින වෛද්‍යවරුන්ගේ නම් අසාදු ලේඛන ගත කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද  සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණා. 

මේ පිළිබඳ සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතාගේ සභාපතිත්වයෙන්,රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව පසුගියදා (31) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ විගණන ඡේද පිළිබඳ පරික්ෂා කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අනු කාරක සභාව හමුවට කැඳවා තිබුණි. 

එහිදී විගණනය විසින් සේවය අත හැර ගොස්  සිටින වෛද්‍යවරුන්ගෙන් අය කර ගත යුතුව තිබෙන මුදල් අය කරගැනීමේ ක්‍රියාවලිය සතුටු දායක නොවන මට්ටමකින් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ලදී.

ඒ අනුව වෛද්‍යවරුන් විදේශ ගතවීමේ දී  ගනු ලබන ක්‍රියාමාර්  හා ඔවුන් නැවත මෙරට සේවයට වාර්තා නොකිරීමේ දී ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් වැඩි වගකීමකින් අදාළ නිලධාරීන් ක්‍රියා කළයුතු  බව සභාපතිවරයා අවධාරණය කළේය.

විගණනය විසින් පෙන්වා දී ඇති කරුණු අනුව තමන් ඒ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග දැඩි කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. ඒ අනුව වෛද්‍යවරයෙක්  නැවත සේවයට වාර්තා නොකොට සේවය අත හැර ගොස් සිටින අවස්ථාවල එම වෛද්‍යවරුන් ගිවිසුම්  ගතවන විට අත්සන් කරනු ලබන ඇපකර මුදල පමණක් මූලිකවම  අයකර ගැනීමට  කටයුතු කරන  බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ. කෙසේ එය ප්‍රමාණවත් නොවන බව පිළිගත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු ගිවිසුම කඩකිරීම  ‍‍වෙනුවෙන් එම වෛද්‍යවරුන්ගෙන් අය කළ  යුතු  දඩ මුදල් අය කරගැනීම සක්‍රියව සිදු නොවූ බවත් වර්තමානය වන විට එම දඩ මුදල් අයකර ගැනීමටද අවශ්‍ය  ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව  ප්‍රකාශ කළහ.

ඒ අනුව වෛද්‍යවරුන් පමණක් නොව මෙලෙස රාජ්‍ය නීති පද්ධතියට අවනත නොවී  කටයුතු කරනු ලබන අනෙකුත්  රාජ්‍ය සේවකයින්ටද අදාළ වන අයුරින්, සමස්ත රාජ්‍ය සේවයටම පොදු  ක්‍රමවේදයක් අවශ්‍ය බව තව දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීහු කෝපා අනු කාරක සභාව හමුවේ කරුණු දැක්වූහ.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස අනුයුක්ත කළ දින සිට ක්‍රියාත්මක වන පරිදි  ඔවුන් වෙත ස්ථිර පත්වීම් ලබා දෙන බැවින් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වෙනුවෙන් අමාත්‍යාංශය විසින් පළාත් සභා වෙත ප්‍රතිපූරණය කර තිබුණු දීමනා ආපසු අය කර නොගැනීම පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විගණන නිලධාරීහු ප්‍රශ්න කර සිටියහ. එහිදී සභාපතිවරයා අදහස් දක්වමින්,  සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුහුණු කාලය අවසානවීමත් සමග වෛද්‍යවරු ලෙස රෝහල් වෙත පත්කිරීමට හැකි නම් මෙම තත්ත්වය උද්ගත නොවන බව පෙන්වා දුන්නේය. ඒ අනුව සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුහුණු කාලය අවසානවීමත් සමග ඔවුනට අදාළ පත්වීම් ලබාදීම සඳහා   කාර්යක්ෂම වැඩ පිළිවෙලක්  සකස් කරන ලෙසට කෝපා අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීහු, නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී වෘත්තීය සමිති  බලපෑම් එල්ල කරන බව පැවැසුහ. වැඩි දුරටත් අදහස් දැක්වූ එම නිලධාරීහු  නවක වෛද්‍යවරුන්ට ලබාදෙන පත්වීම් වලින් 80% ක් ලබා දෙනුයේ දුෂ්කර ප්‍රදේශවල පවතින පර්යන්ත රෝහල් සඳහා බවත් නගර බද ප්‍රධාන රෝහල් සඳහා පත්වීම් වලින් ඉතිරි 20% ලබා දෙන බව පෙන්වා දුන්හ.එහිදී ඔවුහු වෘත්තීය සමිති සඳහා මෙලෙස නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදී මැදිහත් වීමක් සිදුකිරීමට බලයක් නොමැති බවද පෙන්වා දුන්හ.

මේ අතර විගණන නිලධාරීහු විසින් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කරන නිලධාරිනිය  2019 වසරේ සිංගප්පුරුවේ  විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගනු ලැබූවද ඉන් මාස 8ක් ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අදාළ විදේශ පුහුණු දීමනා ලබාගෙන තිබීම පිළිබඳව  සෞඛ්‍ය අමාත්‍යාංශ  නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළහ. 

කෙසේ වෙතත් අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ නිර්දේශයක් ලබා ගැනීමකින් තොරව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දී තිබුණු නිර්දේශයක් මත එම නිලධාරිනියට එල්ල කළ සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විගණන නිලධාරීහු පෙන්වා දුන්හ. ඒ  අනුව මෙම සිදුවීමට සම්බන්ද  විමර්ශන වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙසට සභාපතිවරයා විසින්  සෞඛ්‍ය අමාත්‍යාංශ  නිලධාරීන්ට  උපදෙස් ලබා දුන්නේය. 

තවද අමාත්‍යාංශය යටතේ ඇති හෙද පුහුණු පාසැල් වලට පුහුණව සඳහා බඳවාගෙන තිබුණු හෙද සිසුන් පුහුණුව අත හැර යාම ඔස්සේ අය කරගතයුතු මුදල් අයකර නොගැනීම සම්බන්ධයෙන්ද විගණනය සෞඛ්‍ය අමාත්‍යාංශ  නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී. 1999 වසරේ සිට 2017 වසර දක්වා දත්ත ඉදිරිපත් කරමින් විගණන නිලධාරීහු ඒ කාලසීමාව තුළ පුහුණුව හැර ගිය පිරිස පිළිබඳව නිවැරදි තොරතරු අමාත්‍යාංශය සතුව නොමැති බව පෙන්වා දුන්හ. ඒ අනුව වර්තමානය වන විට එලෙස  පුහුණුව අත හැර දමා ගොස් සිටින පිරිස හා අය විය යුතු මුදල් හා අය කරගෙන තිබෙන මුදල් සම්බන්ධ වාර්තාවක් මසක් තුළ අනු කාරක සභාවට ලබාදෙන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.