Wednesday, October 23, 2024
Follow Us
තේ වගාවේ පොහොර ගැටලුවට විසඳුම්

මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

 

තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබා දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම දැනට තේ, කුරුඳු, පොල් ඇතුලු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි. මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමග සාකච්ඡා කරනු ලැබීය.


ඒ අනුව මෙරට තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර දැනට සමාගම නිෂ්පාදනය කරන මිලටම ලබා දීමට සභාපතිවරයා එකඟත්වය පළ කළේය.


ඒ අනුව වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටලුව විසඳෙන අතර ඒ සම්බන්ධව පියවර ගැනීම පිළිබඳව තේ කර්මාන්තකරුවන්ගේ සංගමය අමාත්‍යවරයාට කෘතඥතාවය පළ කර තිබේ.


එමෙන්ම කෘෂිකාර්මික අංශයට පොහොර සැපයීම සඳහා ඉදිරිපත් වන කවර ආයතනයකට වුවද අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා තේ කර්මාන්තය සඳහා අවශ්‍ය වන පොහොර සම්පාදනයට ඉදිරිපත් වන්නේ නම් තේ කර්මාන්තකරුවන්ගේ සංගමයට ඊට අවසර ලබා දිය හැකි බවද සඳහන් කළේය.