Wednesday, October 23, 2024
Follow Us
සමස්ත රාජ්‍ය සේවයම වෙනුවෙන් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත්කෙරේ

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී, වගකීමක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහාත්,සමස්ත ආයතන හා රජය, විවෘත හා වගකීමක් ඇති තත්ත්වයකට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කිරීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කටයුතු කර තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයාට වඩාත් ප්‍රශස්ථ, ජනතාවාදී රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, කාර්යය සාධනය,සුහදශිලිභාවය හා වගවීම තවුරුවන රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකිවනුසේ මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට මෙලෙස වියත්, බුද්ධිමතුන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට පියවර ගත් බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.

මෙම අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද ඇතුළුව සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතයි.
ඒ අනුව මෙම අනු කමිටුවේ සභාපතිවරයා ලෙස කාරක සභා සාමාජික පාර්මේන්තු මන්ත්‍රී උදයන කිරිඳියගොඩ මහතා පත් කර ඇත.
එමෙන්ම අනු කමිටුව නියෝජන කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජානක ප්‍රනාන්දු, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් එම්.කේ.එස්.එස් රත්නායක, මාධ්‍යවේදී අශෝක ඩයස් (සිරස මාධ්‍ය ජාලය), පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානයේ සභාපති මංජුල ගජනායක , සර්වෝදය ව්‍යාපාරයේ සභාපති මෙන්ම ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න, කාරක සභා සභාපති උපදේශක උපදේශක අචාර්ය කේ.ඒ තිලකරත්න යන මහත්වරුන් පත්කර ඇත.