Thursday, October 24, 2024
Follow Us
අම්පාර මඬපොහොර හිඟ ඇති බවට පළවූ ප්‍රවෘත්තිය අසත්‍යයි

අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය මඬ පොහොර හිඟ යැයි  ඊයේ (05) ඇතැම් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරයි. 

මේ සම්බන්ධව ප්‍රවෘත්තිය පළ වූ වහාම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ගෙන් විමසීමක් කළේය.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවල අවශ්‍ය තරම් TSP හෙවත් මඬ පොහොර තොග පවතී. සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මඩපොහොර මිටි 100ක් බැගින් ගබඩා කර ඇත. පොහොර අවශ්‍ය තරම් ඇතත් මේ වනවිට එක් මධ්‍යස්ථානයකින් මිටි 15කට වඩා අලෙවි වී නැති බව ද අම්පාර  සහකාර ගොවිජන කොමසාරිස්වරිය අවධාරණය කළාය.

මීට අමතරව අවශ්‍ය තරම් යුරියා හා බන්ඩි පොහොර ද සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම පුද්ගලික අංශය ද කටයුතු යොදා තිබේ.

ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහන දීමනාව සඳහා මේ වනවිට පළමු කොටස වශයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් මුදල් අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී ඇත. එම මුදල්‍ හෙට  (07)  සිට ගොවි ගිණුම්වලටම බැර කිරීමට කටයුතු යොදා ඇතැයි ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතා පවසයි.

තවමත් ඇතැම් ප්‍රදේශවල කුඹුරු වගා කිරීම ආරම්භ කර නැති අතර ඇතැම් ප්‍රදේශවල වී වගා කර මාසයක පමණ කාලයක් ගතවී ඇත. ඒ එකදු ප්‍රදේශයකින්වත් පොහොර හිඟබවට වාර්තා වන්නේ නැත.

මේ අනුව මේ වනවිට රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැත. මෙවර පොහොර සැපයීම රාජ්‍ය අංශයෙන් මෙන්ම පුද්ගලික අංශයෙන්ද සිදු කරයි.

ගොවි ජනතාවට ලබා දෙන මුදල්වලින් රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තම අභිමතය පරිදි පොහොර මිල දී ගැනීමට පිළිවන.

මෙම මහ කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කරන අතර ගොවීන් මිලියන 1.2ක් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000 බැගින් මුදලක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම ලබා දීමට කටයුතු යොදා තිබේ.