Thursday, October 24, 2024
Follow Us
සමන්තභද්‍ර හිමියෝ මල්වතු මහ නාහිමිගෙන් සමාව ගනිති

මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කරමින් මින් ඉදිරියට අනර්ථ දේශනා නොපවත්වන බවට සිරි සමන්තභද්‍ර හිමියෝ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභික නාහිමිවරු ඉදිරියේදී පොරොන්දු වූහ.

උන් වහන්සේ මෙලෙස මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ගෙන සමාව අයැද සිටියේ දෙවන වරටය.

සුජාතා සිටු දේවිය හා සිද්ධාර්ථ බෝසතාණන් පිළිබඳ තමන් කළ මත්භේදයට තුඩුදුන් ප්‍රකාශය පැරණි අහසේ අලුත් සඳක් කෘතියේ ඇතුළත් වූ කරුණු විස්තර කිරීමට යෑමේදී තමන් විසින් කළ සාවද්‍ය එකක් බවත් එය චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් කළ ප්‍රකශයක් නොවන බවත් මෙහිදී සිරි සමන්තභද්‍ර හිමි මල්වතු මහනාහිමි ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සභාව හමුවේ කී බව මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

කළ වැරදි සම්බන්ධයෙන් සමාව ලබා දීමෙන් පසු මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව ලබාදුන් උපදෙස් හා නියමයන් අනුව කටයුතු කරන බව සිරි සමන්තභද්‍ර හිමි පිළිගෙන තිබේ.

සිරි සමන්තභද්‍ර හිමිගේ ප්‍රකාශ පිළිගෙන දෙවන වරටත් සමාව ලබා දීමට තීරණය කර තිබෙන සංඝ සභාව එවැනි වරදක් නැවත කළහොත් යළි සමාව දීමක් නොකරන බව සංඝ සභාව මඟින් සිරි සමන්තභද්‍ර හිමියන්ට දැනුම් දුන් බව පහමුණේ සුමංගල නාහිමියෝ ප්‍රකාශ කළහ.