Thursday, October 24, 2024
Follow Us
කර්මාන්ත ව්‍යවසායකයන් 300ක් ඇගයේ

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමේ අරමුණින් නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයින් බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ  " ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023" පසුගියදා පැවැත්විණි.

උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති අතර මෙරට කර්මාන්ත ව්‍යවසායකයන් 300ක් දෙනෙකු එහිදී අගයනු ලැබිණි.

මෙහිදී කර්මාන්ත ක්ෂේත්‍රයේ  ප්‍රධාන කාණ්ඩ 21ක අනුකාණ්ඩ 67 යටතේ ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍ෂද්‍ර, සුළු, මාධ්‍ය හා මහා පරිමාණ යන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වූ තරගකාරී කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයක් අතුරින් විශ්වවිද්‍යාල අචාර්ය, මහාචාර්යවරුන්, කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ප්‍රමුඛ පෙළේ ආයතන නිලධාරින් ඇතුළු විසි දෙනෙකුගෙන් සැදුම් ලත් විද්වත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මගින් මෙම ජයග්‍රාහී කර්මාන්ත ව්‍යවසායකත්ව 300 තෝරා ගැනීම සිදුකොට තිබිණි.

එහිදී ලෝකඩ සම්මාන 84ක් , රිදී සම්මාන 96ක් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයන් වෙනුවෙන් රන් සම්මාන 99ක් පිරිනැමුණි.

රන් සම්මාන කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත වෙනුවෙන් රන් සම්මාන 17ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමුණු අතර සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන්ම ක්ෂුද්‍ර පරිමාණ අංශයෙන් සොනෝටා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය ( Sonota (pvt)Ltd ) වෙනුවෙනුත්, කුඩා පරිමාණ අංශයෙන් තොටවත්ත ඉංජිනියරින් වර්ක්ස් (Thotawaththa engineering works) ආයතනය වෙනුවෙනුත්, මධ්‍ය පරිමාණ අංශයෙන් ධනූෂ මැරීන් ( Danusha Marine Group of Companies) වෙනුවෙනුත්, මහා පරිමාණ අංශයෙන්  Dipped product PLC ආයතනය වෙනුවෙනුත් සම්මාන උළෙලේ අතිවිශිෂ්ටයන් ලෙස සිවුදෙනෙකු වෙත ප්ලැටිනම් සම්මානයන් පිරිනැමීමද සිදුකෙරිණි.

 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023  අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවයි. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.

එසේම මෙම දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

කෙසේ  වුවද   රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වය ද පුරුදු පුහුණු විය බවත් රට වෙනුවෙන් වැඩකළ හැකි තරුණ අමාත්‍යවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.

තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සංවර්ධන අරමුදල ශක්තිමත් කරමින් , රාජ්‍ය යාන්ත්‍රණයටම ආදර්ශයක් එක්කරමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සියළු කාර්ය මණ්ඩලය තම දිනක වැටුප ලෙසින් රුපියල් හත්ලක්ෂ තිස්තුන් දහස් නමසිය එකොලහක ( රු.733,911/=) මුදලක් කර්මාන්ත සංවර්ධන අරමුදලට පිරිනැමීමද සිදුකෙරිණි. එමෙන්ම යුනිලිවර් ආයතනය තම සමාජ වගකීම් ඉටුකිරීමක් ලෙස සලකා IDB කර්මාන්ත සංවර්ධන අරමුදල ශක්තිමත් කිරීමට වර්ෂයක කාල රාමුවක් වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් පිරිනැමීමට එකඟතාවයද මෙහිදී ඇති කරගැනීම සිදුවිය.

එයට අමතරව රටතුළ කර්මාන්ත සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කර්මාන්ත වෙනුවෙන්ම වූ නාලිකාවක් ලෙසින් ආරම්භ කෙරෙන ' Industry TV ' නාලිකාව ජනගත කිරීම සිදුකෙරුණු අතර එහි විකාශන කටයුතු නොවැම්බර් 21 වෙනිදා සිට Peo TV අංක 130 ඔස්සේ සිදුකිරීමට නියමිත වෙයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ , අග්‍රාමාත්‍ය අනුර දිසානායක , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු ආයතන සභාපතිවරුන් , රාජ්‍ය නිළධාරින් , විශ්වවිද්‍යාල ආචාර්ය , මහාචාර්යවරුන් , ප්‍රමුඛ කර්මාන්ත ව්‍යවසායකත්වයන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.