Thursday, October 24, 2024
Follow Us
කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් ග්‍රාමීය හා අඩු වරප්‍රසාද සහිත පාසල් 150කට ප්‍රතිලාභ

2024 මාර්තු මාසයට යෙදී ඇති කීර්තිමත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

විවිධ ජනවර්ග සහ ආගම්වලට අයත් සිසුන් 3000ක් පමණ දැනට අධ්‍යාපනය ලබන වෙස්ලි විද්‍යාලය 1874 දී ආරම්භ කර තිබෙන, විශිෂ්ටයින් රැසක් දැයට දායාද කළ මෙරට පැරණිතම පාසැලකි.

150 වන සංවත්සරයට සමගාමී විශේෂ ව්‍යාපෘතිය රට පුරා ග්‍රාමීය හා අඩු වරප්‍රසාද සහිත පාසල් 150කට ප්‍රතිලාභ සැලසෙන පරිදි 2018 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එහි අරමුණ මෙරට අධ්‍යාපන ප්‍රමිතීන් නංවාලීම, සැලකිල්ල සහ බෙදාහදා ගැනීම පිළිබඳව විද්‍යාලයීය දරුවන් දැනුවත් කිරීම සහ ආලෝකයේ ආලෝකයක් වීමයි.

මේ වන විට පාසල් 42ක් වෙනුවෙන් ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ සලසා අවසන්.

ඒ අනුව වෙස්ලි විද්‍යාලයේ 1973 ආදිශිෂ්‍ය කණ්ඩායම විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාමීය හා අඩු වරප්‍රසාද සහිත පාසල් 10කට අවශ්‍ය උපකරණ ලබාදීම පසුගියදා සිදු කෙරිණ.

මොනරාගල වෙල්ලස්ස විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සෞභාග්‍යා පාසල, මොනරාගල කලවෙලරගම විද්‍යාලය, මොනරාගල හිඟිකිවුල ප්‍රාථමික පාසල, මොනරාගල කොටිගල්හෙල ප්‍රාථමික පාසල, මොනරාගල විහාරගල ප්‍රාථමික පාසල, මොනරාගල හුලංදාව විද්‍යාලය, මොනරාගල සරස්වතී දෙමළ විද්‍යාලය, බුත්තල නියඳැල්ල ප්‍රාථමික පාසල, වැල්ලවාය සද්ධාතිස්ස ප්‍රාථමික පාසල සහ වැල්ලවාය වඳිනාහෙලයාය විද්‍යාලය එම පාසල් 10යි.

මෙම පාසල් වෙත බෙදාදුන් උපකරණ අතර දොර අගුළු, මුළුතැන්ගෙයි උපකරණ, නාන කාමර උපාංග, ක්‍රීඩා භාණ්ඩ, මේස සහ පුටු, සෙවිලි තහඩු, ප්‍රොජෙක්ටර්, වානේ අල්මාරි, SOUND BOX සහ JBL බෆල් වන අතර ළමා ක්‍රීඩාංගන නවීකරණය ද මීට සමගාමීව සිදු විය.