Thursday, October 24, 2024
Follow Us
නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන්

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන් ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරිණි.

මෙම කඨින පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරමින් 2023 ඔක්තෝබර් මස 30 දින නයිනතිව් දූපතේ නාවික හමුදා අනුඛණ්ඩයේ සිට කඨින චීවරය උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැරක් මඟින් නයිනතිව් දූපත වටා ජනතාවගේ වන්දනාමාන පිණිස පිරිත් සජ්ජායනා මධ්‍යයේ රැගෙන ගොස් නැවත නාවික හමුදා අනුඛණ්ඩයේ තැම්පත් කරන ලද අතර, එදින සන්ධ්‍යාවේ නාගදීප රජ මහා විහාරස්ථානයේ නාවික හමුදා දායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකෙරිණි.

2023 ඔක්තෝබර් මස 31 වන දින උදෑසන නයිනතිව්, නාවික හමුදා අනුඛණ්ඩයේ සිට කඨින චීවරය නාගදීප විහාරස්ථානයට වැඩම කරවා කඨින චීවර පූජාව සිදුකර, ගරුතර මහා සංඝරත්න‍යේ තිස්පස් නමක් වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීම සිදුකෙරුණු අතර, මෙම පිංකමට සමඟාමීව නයිනතිව් දූපත් වාසී ජනතාව වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමට ද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.