Thursday, October 24, 2024
Follow Us
  • මම විශ්වවිද්‍යාලයට ආවම ගොඩක් සිසුන් ජීවිතය ජය ගන්න ලොකු සටනක යෙදෙනවා දුටුවා
  • නුවන් සහ ප්‍රමෝද්‍යා යුවළ තවමත් තෙවන වසරේ සිසුන්
  • පේරාදෙණිය සරසවියේ ARTOS DELI UNI FOOD CANTEEN බිහිවන්නේ එහෙමයි
  • සියලු වැඩ ශාස්ත්‍ර පීඨ සිසුන් අතින්

උසස් පෙළ ඉහළින් සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයට 2019දී තේරීපත්ව පෙම්වතුන් වූ නුවන් හේමකුමාර සහ ප්‍රමෝද්‍යා උදයංගනී නිමක් නැති ආර්ථික අර්බුද හමුවේ ජීවිතය ජය ගන්නට සිතුවේ විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන්ට සාධාරණ මිලකට හොඳ කෑම වේලක් ලබාදීම සඳහා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. තම දෑතින් පිළියෙල කරන ආහාර පැකට් කර යතුරු පැදියෙන් සිසුන් අතර බෙදා හැරීමේ කටයුත්ත දෙදෙනා කළේ අධ්‍යාපන කටයුතුවලට ඉන් කිසිදු බාධාවක් ඇති නොවන පරිදිය. විශ්වවිද්‍යාල ආපණශාලාවේ සහන මිලට ලබාදෙන කෑම පැකට්ටුවේ මිලටම වඩා හොඳ ආහාර වේලක් ලබා දීමට කටයුතු කළ නිසාම ඔවුන් දෙදෙනාගේ කෑමවලට ඇති ඉල්ලුම ද දිනෙන් දින ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස කෝකියකුගේ ද සහාය ගනිමින් ව්‍යාපාරය වඩා පුළුල් ලෙස කරගෙන යෑමට උත්සාහ කරනු ලැබූහ. ආර්ථික අපහසුතා මැද සියලු දෙනාට වෛර කරමින් විවේචන පමණක් ඉදිරිපත් කරමින් සිටින බොහෝ අයට පාඩමක් කියා දෙමින් මේ පෙම්වතුන් යුවළ දිරියෙන් ජීවිතය ජය ගැනීමට ගත් උත්සාහයට ජවයක් දෙන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා කටයුතු කළේ ශාස්ත්‍ර පීඨ පරිශ්‍රයෙන් ආපණ ශාලාවක් පවත්වාගෙන යෑමට ඔවුන්ට ඉඩක් ලබා දෙමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ARTOS DELI UNI FOOD CANTEEN බිහි වන්නේ මේ ඔස්සේය. එහි කළමනාකාර අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරන්නේ තවමත් ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන නුවන් හේමකුමාර සහ ප්‍රමෝද්‍යා උදයංගනී දෙපොළය.

නුවන්ගේ සහ උදයංගනීගේ සිහිනය සැබෑවක් කර ගන්නට ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථින්ගේ සංගමය ද සුවිශාල දායකත්වයක් ලබා දුන්නේය. ආපණ ශාලාව සඳහා අවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කරනු ලැබුවේ ඔවුන් විසිනි. මේ අපූරු ආපණ ශාලාව මඟින් ශාස්ත්‍ර පීඨයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 50 දෙනෙකුට නොමිලේ දිවා ආහාර පැකට්ටුවක් ලබාදීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමිලේ සැපයීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

“මම විශ්වවිද්‍යාලයට ආවම තේරුණා මම වගේම ගොඩක් සිසුන් ජීවිතය ජය ගන්න ලොකු සටනක යෙදෙන බව. දවසේ කෑම වේලට මුදලක් වැය කිරීමත් විශ්වවිද්‍යාල සිසුවකුට ලොකු ප්‍රශ්නයක්. මමත් මගේ පෙම්වතිය වන උදයංගනීත් කල්පනා කළා. අපට කීයක් හරි ලැබෙන ගමන් සිසුන්ටත් අඩු මුදලකට කෑම වේලක් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව තමයි අපි පියවරෙන් පියවර ඉදිරියට ආවේ. මේ ආපණ ශාලාවේ ආහාර පිසීමේ කටයුතුවලට සූපවේදීන් කීප දෙනෙකුගේ සහාය ගත්තා. අනෙකුත් සියලු වැඩවලට සම්බන්ධ වෙන්නේ ශාස්ත්‍ර පීඨ සිසුන්. සිසුවකුට වැඩ කරන පැයක් සඳහා රුපියල් 100ක ගෙවීමක් ලැබෙනවා. මෙහි වැඩ කිරීමෙන් අමතර මුදලක් අතට ලැබෙනවා වගේම සිසුවකුට හොඳ අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ARTOS DELI UNI FOOD CANTEEN හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් හේමකුමාර සිසුවා පවසයි.

උපුටා ගැනීමක් - Dinamina