Thursday, October 24, 2024
Follow Us
නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 983 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අනුරාධපුර ථූපාරාම පුදබිම පරිශ්‍රයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟ පෙන්වීම මත නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන සුවිශාල සමාජ මෙහෙවරක් වන අතර, එහි තවත් අධියරක් වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ධානපතීන්ගේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර ථූපාරාම පුදබිම තුලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව,මෙදින ජනතා අයිතියට පත් කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් ථූපාරාම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 15000 ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම, මෙම අවස්ථාවට සමගාමීව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍යසූරි අතිගෞරවාර්හ පල්ලේගම හේමරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ, රුවන්වැලි මහා සෑය පුදබිමේ නායක ස්වාමීන් වහන්සේ අති පුජ්‍ය ආචාර්යය ඊතල වැටුනුවැවේ ඥාණතිලක හිමිපාණන් වහන්සේ හා ථුපාරාම චෛත්‍යරාමාධිකාරි, ශාස්ත්‍රපති පූජ්‍යපාද කහල්ලේ ඥානින්ද හිමිපාණන් වහන්සේ ඇතුළු නායක හිමිවරුන් බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබාගැනීමට නාවික හමුදාධිපති විසින් එහිදී කටයුතු කෙරිණි.

තවද, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍යසූරි අතිගෞරවාර්හ පල්ලේගම හේමරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ, ථුපාරාම චෛත්‍යරාමාධිකාරි, ශාස්ත්‍රපති පූජ්‍යපාද කහල්ලේ ඥානින්ද හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍ය‍යේ මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ බැතිමතුන් පිරිසක් ද සහභාගීවී සිටියහ.