Thursday, October 24, 2024
Follow Us
රුපියල් මිලියන 94 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද  ( 16)අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හතරකට (04) අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක (01) පමණ ප්‍රමාණයක් සහ හෂීස් කිලෝග්‍රෑම් පහකට (05) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් ඊයේ  අළුයම් කාලයේ තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් හතරක (04) අසුරන ලද අයිස් කිලෝ හතරයි (04) ග්‍රෑම් එකසීය අනූ හතරක (194) තොගයක්, එක් පාර්සලයක අසුරන ලද හෙරොයින් කිලෝ එකයි (01) ග්‍රෑම් තිස් හතරක (034) ප්‍රමාණයක් සහ පාර්සල් පහක (05) අසුරන ලද හෂීස් කිලෝ පහයි (05) ග්‍රෑම් දෙසිය පනස් හතරක (254) තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන අනූ හතරකට (94) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් අයිස් කිලෝ හතරයි (04) ග්‍රෑම් එකසීය අනූ හතරක (194) තොගය, හෙරොයින් කිලෝ එකයි (01) ග්‍රෑම් තිස් හතරක (034) ප්‍රමාණය, හෂීස් කිලෝ පහයි (05) ග්‍රෑම් දෙසිය පනස් හතරක (254) තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය්‍යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.