Thursday, October 24, 2024
Follow Us
මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙළක්

වසර 14කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ.

ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී මහපොළ ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා එක් එක් රාජ්‍ය ආයතන වෙත පැවරෙන වගකීම් හා කාර්යභාරය පිළිබදව එම ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සිදුවිය.එමෙන්ම ප්‍රදර්ශනය වෙනුවෙන් ජා ඇළ නගරයට පිවිසෙන මාර්ග, මගී ප්‍රවාහන සේවා, ජල විදුලි හා ආපදා කළමනාකරණ ඇතුළු යටිතල පහසුකම් සූදානම් කිරීමත් ,ප්‍රදර්ශන පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශයන්හි ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු ඒ සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සමඟ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

පාසැල් සිසු සිසුවියන් සඳහා විෂයානුබද්ධ හා ප්‍රායෝගික විශේෂ සම්මන්ත්‍රණ රාශියක් මෙන්ම, ව්‍යවසායකයන්, නව නිපැයුම්කරුවන් හා අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින් වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව යන ආයතන ඔස්සේ දැනුම හා අධ්‍යාපනයෙන් පිරි නවමු අත්දැකීමක් මෙම ප්‍රදර්ශනය ඔස්සේ ලබා ගත හැකිය. රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක අනුග්‍රාහකයින් රැසක් මේ සඳහා සිය සහයෝගය දැක්වීම සඳහා ඒකරාශී වී සිටී.
දිවංගත මහාපොළ භාරකාර අරමුදලේ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් දැයේ අඩු ආදායම්ලාභී දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අරම්භ කරන ලද මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල හරහා මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යයත්ව 16,000, කාර්මික විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව 1500, විවෘත විශ්වවිද්‍යාල හා නීති විද්‍යාලය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ඇතුළු අනිකුත් අධ්‍යාපන ආයතන වෙත ශිෂ්‍යත්ව 1400ක් පමණ ලබා දෙන අතර, මෙම ශිෂ්‍යත්ව ප්‍රමාණය තවත් ඉහළ නංවා ගැනීම හා පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වෙළෙඳ ප්‍රදර්ශනය හරහා අපේක්ෂා කෙරේ.