Thursday, October 24, 2024
Follow Us
බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව වර්ධනය කළ චීන හිමිනමට  ගෞරව නාම ප්‍රදානය කරයි  

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත  ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ ර්‍ණ ගෞරව නාමය පිරිනැමීම කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නායක හිමියෝ විසින් ගෞරවණීය ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මෙහිදී ගෞරවනාම අක්තපත්‍ර ප්‍රදානය කළහ.

මිනිසුන්ගේ අධ්‍යාත්මික දියුණුව ප්‍රගුණ කිරීමටත්, ධර්මය හරහා ජාතීන් අතර සම්බන්ධතා ගොඩනැඟීමටත් එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී පැවැසීය.

එසේම ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙරටෙහිම දූත පිරිස් හුවමාරු කර ගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, චීනයේ ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවට වෙනුවෙන් කළ නිහතමානී සේවාවට ගෞරව කිරීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිය කෘතඥ පුර්වක ස්තුතිය පළ කරන බවද වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේය.

අති ගෞරවණීය මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක, දායක සභාවේ සභාපති කරු ජයසූරිය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරු සහ චීන බෞද්ධ ගිහි පැවැදි දූත පිරිසක් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.