Thursday, October 24, 2024
Follow Us
නාගරික ප්‍රදේශවල ගස් සිටුවීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

නාගරික ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.


ආපදා තත්වයකදී ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම, මිනිස් ජීවිත රැක ගැනීම සහ දේපල හානි වළක්වා ගැනීම යන කාරණා ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ජා කරනු ලැබීය.

විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ගස් සිටුවීමේදී එම ප්‍රදේශවලට ඔරොත්තු දෙන ආකාරයේ ශක්තිමත්, ප්‍රමිතියකින් යුතු පැළ යොදා ගැනීමට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
කෙටිකාලීන විසඳුමක් ලෙස විශේෂයෙන් ම කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා ඊට සිවිල් ආරක්‍ෂක බලකායේ සහයෝගය ද ලබා දිය හැකි බව පැවසීය.

තවද නාගරික ප්‍රදේශවල කඩා වැටීමේ අවදානම් සහිත ගස් හඳුනා ගැනීමටත් ඒවා මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාළ දීර්ඝකාලීන විසඳුමක් සකස් කිරීමටත් මෙහිදී අවධානය යොමු විය. සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදා ගන්නා තාක්‍ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරන ලෙසත්, ඊට අදාළ තාක්‍ෂණික සහය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් ලබාගැනීමටත් අමාත්‍යවරයා මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන අමාත්‍යංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.