Thursday, October 24, 2024
Follow Us
ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය හෙට ගාල්ලේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ලේදී  ජනාධිපති,  රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් හෙට (12) ආරම්භ වීමට නියමිතයි.

එම සම්මන්ත්‍රණය හෙට සහ අනිද්දා ( 12) දෙදින පුරා පැවැත්වීමට නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත. 

“Emerging New Order in the Indian Ocean” යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා රටවල් 44 ක සහ ජාත්‍යන්තර සංවිධාන 11 ක මෙන්ම, ආරක්ෂක ක්‍ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතනයන්ගේ දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් සහභාගී වනු ලබයි.

සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාවය වෙනුවෙන් පවත්නා ගෝලීය නීතිමය රාමුව සහ බහු පාර්ශ්වික සමුද්‍රීය සහයෝගීතාවයන් අභියෝගයට ලක්වෙමින් සාගරික වපසරිය තුළ, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් ලෙස සැලකෙන මුහුදු මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ජාවාරම්, මිනිස් ජාවාරම් ඇතුළු විවිධ ස්වරූපයේ ජාවාරම්, අනවසර සංක්‍රමණ සහ නීති විරෝධී නියාමනය නොවූ හා වාර්තා නොවන ධීවර කටයුතු වර්ධනය වී ඇති අතර, සාගර, වෙරළ කලාප, වෙරළාශ්‍රිත සහ වෙරළාශ්‍රිත නොවන යන පුළුල් ක්‍ෂේත්‍රයකට බලපෑම් ගෙනදෙන ගෝලීය තර්ජනයක් බවට පත්වෙමින් පවතී. 

එමෙන්ම, සමුද්‍රීය සම්පත් සූරාකෑම, සමුද්‍රීය දූෂණ, සමුද්‍රීය අනතුරු සහ සමුද්‍රීය පාරිසරික පද්ධතියට සිදුවන හානිදායක තත්වයන් ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එම සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජනයන් ඉන්දියානු සාගරය වෙත ද පැමිණ ඇත.

එවන් පසුබිමක, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය සහතික කරමින්, සමුද්‍රීය ආර්ථික අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම සඳහා පුළුල් සාමූහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම වෙනුවෙන්, ඉන්දියානු සාගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දීය සාගරයට මුහුණලා ඇති වෙරළාශ්‍රිත රාජ්‍යයන් සහ ඉන්දීය සාගරය භාවිත කරනු ලබන සියලුම සමුද්‍රීය පාර්ශ්වකරුවන්හට සුවිශේෂී සාමූහික වගකීමක් පැවරී ඇත.

 ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන ගාලු කතිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය, සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ උපාය මාර්ගික ක්‍රමෝපායන් මෙන්ම හමුදාමය නිෂ්පාදන සහ එම ක්ෂේත්‍රයේ නව නිපැයුම් සම්බන්ධයෙන් සියලුම සමුද්‍රීය පාර්ශවකරුවන්හට එකම වේදිකාවක අදහස් හුවමාරු කර ගැනීමටත්, විසඳුම් සෙවීමටත් ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කරදෙනු ලබයි.

 ගාලු කථීකාව 2023 අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර, එම වෙබ් අඩවිය ඔස්සේ 2023 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ මෙම සමුළුව සජීවීව නැරඹිමට ද පහසුකම් සලසා ඇත.