Thursday, October 24, 2024
Follow Us
දිවයින පුරා නෙල්ලි පැළ 28,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් 

දිවයින පුරා තෝරාගත් ස්ථානයන්හි නෙල්ලි පැළ 28,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව දියත් කර  තිබේ. මේ අනුව, එක් දිස්ත්‍රික්කයකට පැළ 1,000 බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා පැළ 25,000ක් සිටුවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර ඉතිරි පැළ 3,000 මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීම මත කැලණි ගං ද්‍රෝණියේ තෝරාගත් ස්ථානයන්හි සිටුවීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව පසුගියදා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙදින සංකේතාත්මකව නෙල්ලි පැළ දහයක් කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේ රෝපණය කෙරිණි.

කෝප් 28 සමුළුවට සමගාමීව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතාගේ යෝජනාවකට අනුව පැළ 28,000ක් සිටුවීම සඳහා කටයුතු යොදමින් සිටි අවස්ථාවේ පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් නෙල්ලි ගස් සිටුවීමේ වැදගත්කම පිළිබඳ ව්‍යාපෘති යෝජනාවක් පරිසර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජනා ද්විත්වයම සුසංයෝග කරමින් නෙල්ලි පැළ 28,000ක් සිටුවීමේ  ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

දේශගුණ විපර්යාස මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත හැකි පියවරක් ලෙස  සහ කාබන් පියසටහන අවම කිරීම සඳහා  වන වැස්ම (වන ගහනය) වැඩිකිරීම ව්‍යාපෘතියේ අරමුණු වේ. ආයූර්වේදයට අනුව බොහෝ රෝග සමනය සඳහා භාවිත වන ඖෂධයක් සහ පලතුරක් ලෙස නෙල්ලි ශාකය ඉතා වටිනා ඖෂධීය ශාකයක් වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය  සඳහා නෙල්ලි ශාක තෝරා ගෙන තිබේ.