Thursday, October 24, 2024
Follow Us
ෂාෆ්ටර්ගේ දේහය ආදාහනයට අවසර ඉල්ලයි

ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනය කිරීමට අවසර දෙන්නැයි එම පවුලේ සාමාජිකයෝ අධිකරණයෙන් ඊයේ (9) ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය, දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනය කිරීමට අවසර දිය හැකිදැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස අදාළ මරණයට හේතුව තීරණය කිරීමට පත්කළ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවට නියෝග කළාය.

 මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායකයන්ගේ අන්තිම කැමැත්ත මරණකරුගේ දේහය ආදාහනය කිරීම බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

 යම් හෙයකින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය භූමිදානය කරන ලෙස අධිකරණය නියෝග කරන්නේ නම් එම කටයුතු සඳහා මරණකරුගේ බිරිඳ වන ටානි ෂාෆ්ටර් විසින් කොළඹ ජාවත්ත පොදු සුසාන භූමියේ පිහිටි ‘චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්’ නිකායට අයත් සුසාන භූමියෙන් බිම්කඩක් ලබාගෙන ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

 ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පවුලේ ඥාතීන්ගේ අන්තිම කැමැත්ත දිවුරුම් ප්‍රකාශ සහිතව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය මුදාහරින තුරු, ඔහුගේ මරණයට හේතුව දැක්වෙන වාර්තා ඉදිරිපත් කළ නොහැකි බවට පංච පුද්ගල විද්වත් කමිටුව දැනුම් දී ඇතැයි විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරිය, අදාළ මරණකරුගේ මෘත දේහය තවදුරටත් විමර්ශන සඳහා අවශ්‍යද? ආදාහනය කිරීමට අවසර දිය හැකිද? යන්න පිළිබඳ කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විද්වත් කමිටුවට නියෝග කළාය.

Aruna