Thursday, October 24, 2024
Follow Us
පාසල් පන්තියේ රැඳී නොසිටියොත් ඉදිරියේ දී විභාගෙට ලකුණු නෑ

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු‍ ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක්වෙමිනි.

අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම කෙසේවත් ප්‍රායෝගික නොවන බව ද කී ය.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබා ගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්වයක් නොවන බව කී අමාත්‍යවරයා වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමේ ඛේදනීය තත්වය වහා ම වළක්වාගත යුතු බවත් එසේ නොවුණහොත් ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කළේ ය.
ලොව කිසි දු රටක මෙවන් තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් මෙරට පූර්ව ළමා අවධි අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා සංකල්ප හා නිර්ණායක ද මුළුමනින් ම වෙනස් කළ යුතු මට්ටමක පවත්නා බවත් එය ද පූර්ණ පරිවර්තනයකට ලක් කළ යුතු බවත් හෙතෙම මෙහි දී පැවසී ය.