Thursday, October 24, 2024
Follow Us
කොල්ලුපිටියේදී බසයක් මතට ගසක් ඉදිරී වැටී 5ක් මරුට

බසය ගස යට නවත්වා මඟීන් ගනිමින් ඉඳලා

කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී නුග ගසකට බද්ධ වූ රෙබරෝසියා ගසක් මඟී බස් රියක් මතට අද (6) අලුයම ඉදිරී වැටීමෙන් බසයේ ගමන් කරමින් සිටි 5 දෙනකු මියගොස්, 4 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ අනතුරින් මියගිය මඟීන් පස් දෙනාම පිරිමි අය වන අතර, වැලිසර පදිංචි අරුණ ප්‍රනාන්දු, මාතලේ පදිංචි එච්.එම්.එස්.බී. රත්නායක, පෑලියගොඩ පදිංචි බාලක්‍රිෂ්ණන් සිවකුමාර් සහ යූ.එස්. ප්‍රියරංජන, ඩී.ඒ.ඒ. චතුරංග යන අය මෙලෙස මරණයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

බස් රිය අනතුරට පත් වන අවස්ථාවේ එහි මඟීන් 17ක් පමණ ගමන් කර ඇත. බසය මතට ගස වැටීමෙන් බසය මැදින් දෙකට නැවී තැළී තිබිණි. මේ බසය කොළඹ සිට මතුගම බලා ධාවනය වෙමින් තිබියදී උදේ 6.15 ට පමණ අනතුර සිදු වී තිබේ. දෙණියායෙන් අලුයම 1.30ට පිටව ඇති බසය බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ වෙත පැමිණ, පසුව නැවත අලුයම 5.45ට මතුගම ඩිපෝව බලා ධාවනය වෙමින් තිබියදී මේ අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ කොටුවෙන් ගමන් ආරම්භ කර මිනිත්තු 20කට පමණ පසුවය. ගස වැටෙන අවස්ථාවේ එම බසය ගස අසල නවතා එයට මඟීන් නංවාගැනීමට සූදානම් වී ඇත. බයය මතට ගස වැටී ඇත්තේ ඒ ස්ථානයේ බස් රථය නතර කර තත්පර කීපයක් අතරතුරදීය.

මිය ගිය අය සියලු දෙනාම පාහේ රැඳී සිට ඇත්තේ ගසේ කඳ බසය මතට වැටුණු ස්ථානය අසල අසුන්වල බවද මූලික විමර්ශනවලදී පෙනී ගොස් ඇත. ඇතැම් මඟීන් ගස බසය මතට පතිත වන අවස්ථාවේ එය දැක බසයෙන් පැන දිවගොස් ඇති අතර, ඇතැම් අය බසය තුළ සිර වී සිට ඇත. එසේ සිර වී සිටි අය පිටතට ගැනීමට ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දරමින් බසයේ තහඩු පවා කපා ඉවත් කිරීමට සිදුව තිබිණි. බසය මතට වැටී තිබුණු ගස පැය කිහිපයක් තුළ ඉවත් කර මාර්ගයේ වාහන ගමනාගමනයට කඩිනමින් ඉඩ සැලසීමට ආරක්ෂක අංශ සහ කොළඹ මහා නගර සභා සේවකයන්ද ගිනි නිවන සේවා නිලධාරීන්ද යුහුසුලුව ක්‍රියා කරන අයුරු දක්නට ලැබිණි. අනතුරෙන් පසුව බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තර කොල්ලුපිටිය පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය. මේ අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශන පවත්වයි.