Thursday, October 24, 2024
Follow Us
සීතා ඇතින්නට රබර් උණ්ඩ යොදාගනිමින් වෙඩි තැබීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්

මහියංගණ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍ය සඳහා විවිධ ප්‍රදේශ වලින් අලි ඇතුන් සහභාගි වන බැවින්, ප්‍රදේශයේ වල් අලින් බහුල වශයෙන් සැරිසැරීම හේතුවෙන් වල්අලි පලවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපිත කරන ලෙස මහියංගණ විහාරාධිපති හිමියන් විසින් වනජිවි දෙපාර්තමේන්තුවන් ඉල්ලීමක් කර ඇත.


එම ඉල්ලීමට අනුව, වනජීවි නිලධාරින් සමග වල් අලි පලවා හැරිම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්‍ෂක භටයකු ද සහභාගි වි ඇත.
2023.09.30 වන දින උදැසන 3.15ට පමණ මහවැලි ගඟ අසබඩ ගාල්කර සිටි සීතා නැමැති ඇතින්නට වල් අලියෙකු යැයි සිතා රබර් උණ්ඩ වෙඩි තැබීමක් වාර්තා වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විනය පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.
තවද, මේ පිළිබඳ විධිමත් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ පාර්ශවයන් වෙත නියෝග කර ඇති අතර, අදාල රාජකාරියට සම්බන්ධ වී ඇති සිවිල් ආරක්‍ෂක භටයා විසින් රාජකාරි ඉටුකිරීමේදී විනය විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්නම්, අදාල භටයාට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.