Thursday, October 24, 2024
Follow Us
මීලාදුන් - නබි දින වෙනුවෙන් ජනපතිගෙන් සුබ පැතුම්

නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මිලාදුන් නබි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි.

එම පණ්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

 

" ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මුද් නබි නායකතුමාගේ උපත යෙදෙන මීලාදුන් - නබි උත්සවය සමරන ශ්‍රී ලාංකික ඉස්ලාමීය ජනතාවට මෙන්ම ලෝකවාසී සියලු ඉස්ලාමීය ජනතාවට මාගේ සුබපැතුම් පිරිනමමි.

සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

එකල සමාජය තුළ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ විය. විශ්වාසය සහ මිනිසත් බව වෙනුවෙන් කළ අසීමිත කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස එතුමා ප්‍රාර්ථනා කළ විජයග්‍රහණය උදා කර ගැනීමට හැකි විය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග වූ අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මෙම අවස්ථාවේ අප ජීවිතවලට ද පරමාදර්ශයක් කරගත යුතුය. එසේම එතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කර සහජීවනය ඇති කිරීමට කැපවීම එතුමාට සිදුකළ හැකි ඉහළම ගෞරවය බව මම විශ්වාස කරමි.

නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මෙම උතුම් දිනයේ මම සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
ප්‍රීතිමත් මීලාදුන් - නබි දිනයක් වේවා !"