Thursday, October 24, 2024
Follow Us
ජාත්‍යන්තර සාම දිනය සැමරේ

සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී තිබු ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් ( ජාත්‍යන්තර සාම දින උත්සවය - 2023) අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දින උත්සවයක් සංවිධාන කර තිබිණ.


අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී අද (22 ) එය පැවැත්විණ.

මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ සහජීවනය බිද වැටීමේ සිද්ධියක් වුවහොත් පිළිබඳව ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමටත් හැකි වන ක්‍රමවේදයක් සංහිදියා කමිටු හරහා ඇති කිරීමට පියවර ගෙන ඇති අතර බලයේ සිටි සියලු ආණ්ඩු සාමය සහ සංහිදියාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය අවංක උත්සාහයක් ගෙන නොතිබුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා,
“සාමය සියලු ජන කොටසකටම රටකටම වගේම සමස්ත ලෝකයටම ඉතා වැදගත් කරුණක් බව අපි සියලු දෙනා දන්නා කරුණක්. සාමය සංහිදියාව ඇති කළ යුත්තේ පහළ සිට ඉහළටයි. ඒ කියන්නේ ග්‍රාමීය මට්ටමේ සිටයි. ඒ නිසා අපි සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු පිහිටුවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ මේ වන විට ග්‍රාම සේවා වසම් 14022 ක් සංහිදියා කමිටු ස්ථාපිත කළා. සහජීවනය ග්‍රාමීය මට්ටමින් ස්ථාපිත කිරීම සදහා ආගමික නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. විශේෂයෙන් අපේ අනාගත පරපුර මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීමෙන් වළක්වා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සදහා ග්‍රාමීය සහජීවන කටයුතු කළ යුතුයි. ආගම් හා ජාතීන් අතර ග්‍රාමීය වශයෙන් සහජීවනය බිද වැටීමේ කිසියම් සිද්ධියක් ඇති වුවහොත් එවැනි දේ ඇති නොවීමටත් ඒ පිළිබදව ඉහළ පෙලේ රාජ්‍ය තන්ත්‍රය කඩිනමින් දැනුවත් කිරීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක් සංහිදියා කමිටු හරහා ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ජාතික සමගිය හා ප්‍රති සංධානය සදහා වු කාර්යාලය ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරනවා. ඉතිහාසයේ අපේ රටේ අවස්ථා කිහිපයකදී ලේ වැගිරීම් සිදු වු අවස්ථා තිබෙනවා. 1971, 1988 මේ රටේ භීෂණයක් තිබුණා.
වසර තිහක කාලයක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් ජනතාව පීඩා වින්දා. අපේ රටේ බලයේ සිටි සියලු ආණ්ඩු සාමය සහ සංහිදියාව ගොඩ නැගීම සදහා අවශ්‍ය කරන අවංක උත්සාහයක් ගෙන තිබුණේ නැහැ.
පසුව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වුණා. මේවා වළක්වන්න අපිට අපේ රටේ නායකයින්ට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. මේ සියලු සිද්ධින් වළක්වන්න අවස්ථාව අපිට තිබුණා. එහෙම කියලා අපි අතීතය ගැන කථා කරලා වැඩක් නැහැ. ඉදිරියේ දී එවැනි දේ සිදු නොවීම සදහා කටයුතු කළ යුතුයි.
තරුණ පරපුර අපේ රටේ ශක්තියයි. ඒ අයට සුරක්ෂිත රටක් ලෙස මේ රට පරිවර්තනය කළ යුතුයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි මේ සියලු ආගම්වල සාමයෙන් සංහිදියාවෙන් කටයුතු කිරීමේ ඇති වටිනාකම පැහැදිලි කර තිබෙනවා. සියලු දෙනා තම ආගමික ඉගැන්වීම අනුව සාමකාමී දේශයක් ගොඩනැවීම සදහා එක්ව කටයුතු කළ යුතුයි”