Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ

මේ වසරේ දී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.


ඒ මහතා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දීය.
මෙහි දී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා හිමිවන බව ද ඒ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහායටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්තුතිය පළ කළේය.
තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහාය බලාපොරොත්තු වෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සළකා බලන බව සඳහන් කළ කම්කරු අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසුවේ මෙම ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී කොරියානු භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ ආයතන සහ විශ්වවිද්‍යාල නැරඹීමේ අදහසක් තමන්ට ඇති බවයි.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවිය හැකි බව කී ඒ මහතා මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය කෙරෙහි කොරියානු ආයෝජන වැඩි කළ යුතුව ඇතැයිද කීය.