Thursday, October 24, 2024
Follow Us
දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වැඳ පුදා ගැනීමට විශාල සෙනඟක්

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (සැප් 12) සවස පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් මහා විහාරයේදී දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය වැඳපුදා ගත්තේය.

මෙම විහාරස්ථාන පරිශ්‍රයේ පූජනීය සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය ප්‍රදර්ශනය සඳහා පහසුකම් සලසා දුන් ශ්‍රී සුනේත්‍රා දේවි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කළහ.

මහා සංඝරත්නය ඇතුළු සැදැහැවත්හු බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය සියසින් දැක වන්දනාමාන කර කුසල් උපදවා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදාකර ගත්හ.

දීඝවාපිය පුරාවිද්‍යා අඩවියෙහි සිදුකල කැණීම් වලදී සොයා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම දීඝවාපී මහා සෑයේ පැලඳවීමට නියමිත මැණික් ගල් 2800 කට වැඩි ප්‍රමාණයක් ඔබ්බවා නිම කර ඇති චූඩා මාණික්‍යය අද දින (සැප් 13) රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට වැඩම කරවීමට නියමිතය.

ඉන් අනතුරුව, හෙට (14) මෙම සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය ආගමික පෙරහැරකින් මහරගම සිරි වජිරඥාන ධර්මායතනය වෙත වැඩම කිරීමට නියමිතය.

සැප්තැම්බර් 15 දින කෝට්ටේ රජමහා විහාරයේදීත්, සැප්තැම්බර් 16 දින පන්නිපිටිය සිරි දම්මින්ද විහාරයේදීත්, සැප්තැම්බර් 17 දින පිළියන්දල මාම්පේ විහාරයේදීත් මෙම ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය දැකබලා වන්දනාමාන කිරීමට බෞද්ධ ජනී ජනයාට අවස්ථාව උදාවෙනු ඇත.