Thursday, October 24, 2024
Follow Us
නිවාස ඇමැතිගෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස්

තංගල්ල, මොරටුව හා රණ්පොකුණුගම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක සපිරි මහල් නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු මෙම වසර ඇතුළදී අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

මෙම නිවාස ව්‍යාපෘති තුනෙහි නිවාස ඒකක 132න් සමන්විත වේ. ඒ තංගල්ල සපිරි මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 30ක්, රණ්පොකුණුගම නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක72ක් හා මොරටුව නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 30ක් වශයෙනි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම නිවාස ව්‍යාපෘති තුනෙහි වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබෙන්නේ ඉතිරි වැඩ කටයුතුද මෙම වසර ඇතුළතදීම අවසන් කොට කඩිනමින් ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙසයි.

මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුද්ගලික සමාගමක් විසින් සිදුකරනු ලැබේ.

මෙම නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් කටයුතු පසුගිය 2022 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත් කොරෝනා වසංගතය, අරගලය හා ආර්ථික අර්බුද හේතුවෙන් නියමිත කාලයේදී ව්‍යාපෘති අවසන් කිරීමට නොහැකි වූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

එහෙත් මේ වනවිට රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුද ක්‍රමයෙන් විසඳෙමින් තිබේ. එබැවින් නිවාස ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කළ හැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම නිවාස ව්‍යපෘතිවල වැඩ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදුකිරීමට අවශ්‍යනම් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බවද හෙතෙම පවසයි.